කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමට රජය ක‍්‍රියා කිරීම තුළින් රුපියල්...
කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමට රජය ක‍්‍රියා කිරීම තුළින් රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදුවන බවත් තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වුවහොත් එය රුපියල් බිලියන 80 දක්වා වැඩිවිය හැකි බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඒ බව ප්‍රකාශ කළේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූණි.
එබැවින් මෙම ටෙන්ඩරය අවම ලංසුවකට චීන සමාගමකට ලබාදුනහොත් මහජනතාවට විශාල අගතියක් සිදු වන්නේ යැයිද නීතීඥවරයා පෙන්වා දුන්නේය.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ටෙන්ඩරයේ අදාල සියලූ නිර්දේෂයන් සිදුකරන්නේ තාක්ෂණික කමිටුව මගින් බවයි.
අවසාන නියෝගය ක‍්‍රියාත්මක සිදුකරන්නේ මහජන උපයෝගිතා මණ්ඩලය බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන 17 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබේ.
කෙසේ වෙතත් කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රජය සතු අක්කර 110ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලිය ඉල්ලුම සපුරා ලීම සඳහා ස්වාභාවික වායුව ඉන්ධනයක් ලෙස භාවිත කරන විදුලිබලාගාර ඉදි කිරීම වඩාත් සුදුසු බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඉන්දියාව හා ජපානය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස මෙගාවොට් 500 බැගින් වූ ස්වාභාවික වායු විදුලිබලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇත.
වැඩිම විදුලි ඉල්ලුම පවතින කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබාගැනීමට ඇති හැකියාව සහ බලාගාර ඉදි කිරීමට යොදාගත හැකි ඉඩම් පැවැතීම යන කරුණු හේතුවෙන් ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා සුදුසුම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රජය සතු අක්කර 110ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS