හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය කොට්‌ටපිටිය මංසන්ධියේදී ඊයේ (06) අලුයම 1.00 ට පමණ සිදු වූ අනතුරකින් වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා...
හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය කොට්‌ටපිටිය මංසන්ධියේදී ඊයේ (06) අලුයම 1.00 ට පමණ සිදු වූ අනතුරකින් වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්‌ඩාර මහතාගේ පුත්‍රයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලබා ඇත.
සභාපතිවරයා සුළු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව පිටව ගොස් තිබේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා කොළඹ ජාතික රෝහලට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධර රංගෙ බණ්‌ඩාර (25) සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් (28) නමැති දෙදෙනායි.
මොවුන් කෝට්‌ටපිටිය ප්‍රදේශයේ හෝටලයක සිට නිවස බලා කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථය ඉදිරියේ ඇති නිවසකට කඩා වැදී තිබේ.
අතුරු මාර්ගයක සිට පැමිණි කැබ් රථය පුත්තලම, හලාවත මහා මාර්ගය හරහා ඉදිරියේ පිහිටි නිවසක් තුළට මෙසේ කඩා වැදී ඇත.
අනතුරට පත් කැබ් රථය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් එකකි. අනතුර සිදුවන අවස්‌ථාවේ කැබ් රථය පදවාගෙන ගොස් ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව පොලිසිය පවසයි. එමෙන්ම එම කැබ් රථය තුළ තිබී අඩි දෙකහමාරක් දිග කඩුවක්, බේස්බෝල් පිත්තක්, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතා කරන විකට් කූරක්, මත්පැන් බෝතලයක් සහ බයිට් වර්ගද හමු වූ බව සඳහන් වේ.
අනතුරෙන් කැබ් රථයට හා නිවසට බරපතළ හානි සිදු වී ඇති අතර කැබ් රථය නිවසේ සාලයටම කඩාගෙන ගොස් ඇත. අනතුර සිදුවන අවස්‌ථාවේ නිවැසියන් සාලය දෙපස කාමර තුළ නින්දේ පසු වී තිබේ. ආරච්චිකට්‌ටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
COMMENTS