හදිසි සහ සුවිශේෂී අවස්ථාවක පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා පොදු තීරණයක් මගින් පොලිස් කොමිසම ව...
හදිසි සහ සුවිශේෂී අවස්ථාවක පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා පොදු තීරණයක් මගින් පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී තිබූ බලය වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කළ බව තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීමක් සිදුකළ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර වහාම ඔහු බිංගිරිය පොලිස් ස්ථානාධිපති ලෙස පිහිටුවා ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
යම් ප්‍රශ්නගත පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත්කිරීමෙන් පසු කඩිනමින් ඒ සඳහා නිලධාරියෙක් පත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්වත් කර අදාල පියවර ගැනීමටත්, අනතුරුව එළඹෙන පළමු කොමිෂන් සභා සැසිවාරයේ දී තමන් ගත් එම ක්‍රියාමාර්ග සඳහා ආවරණ අනුමැතිය ලබා ගැනීමටත් වැඩ බලන පොලිස්පතිවරයාට අවසරය ලබා දී තිබුණේ 2024.12.02 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා වාරයේ දී ය. .
එම ක්‍රියාවලිය සිදු නොවීම හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ ඇති බලතල ද දැනට බලපැවැත්වෙන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධි විධාන ද උල්ලංඝනය කර ඇති බව ජාතික පොලිස් කොමිසම අදාල මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
පොලිස් කොමිසම පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්වත් කිරීමකින් තොරව, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ක්ෂණිකව බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යැවීම බරපතල තත්ත්වයක් උද්ගත කර ඇති බවය.
පොලිස් කොමිසම විසින් ලබා දුන් පොදු තීරණය තුළ කටයුතු කිරීමට තවදුරටත් වැඩ බලන පොලිස්පතිවරයාට අවකාශය සලසා දුන්නොත් අතිශ්‍ය ව්‍යාකූල තත්ත්වයක් ඇති විය හැකි එබැවින් වහාම ක්‍රියාත්මකවන පරදි එම කොමිසම විසින් ලබා දුන් පොදු තීරණය අවලංගු කිරීමට ඊයේ රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බවත් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාරුවීම අවලංගු කර යළි එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවීමට වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළ බවත් අදාල මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ.
-lankasara
COMMENTS