රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම...
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 19 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා ලබන 19 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.
අදාළ පැමිණිල්ල අද (05) කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැමිණිලිකාර ඉන්දියානු ජාතිකයා ආරම්භයේ පටන් තම සේවාදායකයා සමඟ වෛරයකින් පසු වූ බව කියා සිටියේය.
කන්තලේ සීනි සමාගම සතු රුපියල් මිලියන පන්සිය හතළිහක් පමණ වටිනා යන්ත්‍ර සූත්‍ර ඉතා කූඨ ආකාරයෙන් අත්පත් කර ගැනීමට ඉන්දියානු ජාතිකයා සූදානම් වූ බවත් ඊට තම සේවාදායකයා එරෙහි වීම නිසා ඔහුට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව එම නීතිඥවරයා කියා සිටියේය.
එය සුවිශේෂී කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති සැකකාර පියදාස දිසානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා දැඩි රෝගී තත්ත්වයකින් පසුවන නිසාත් පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති නිසාත් ඔහු ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති නිසා මෙම අවස්ථාවේ සැකකරුවන් ඇප මත මුදා හළ පරීක්ෂණ කටයුතුවල බාධා සිදු විය හැකි නිසා ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.
ඒ අනුව සැකකරුවන් ලබන 19 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බව ද කියා සිටියේය.
මේ අතර අල්ලස් කොමිසම කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන්ගේ කටහඬ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත බාරදීමට පියවර ගන්නා මෙන් ද නියම කළේය.
කන්තලේ සීනි සමාගමේ පිහිටා ඇති යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 54 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10 දක්වා අඩු කොට ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත් අවස්ථාවේ දී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS