හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක මුදල ලබාදීම තාවකාලි...
හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක මුදල ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර ඇතැයි වාර්තාවේ.
හම්බන්තොට වරායේ නිර්මාණය කර ඇති දූපත විනෝදාස්වාදක කටයුතු සඳහා යොදා ගැනීමට චීනය ඉල්ලා තිබුණද, කොළඹ ඒ සඳහා විරෝධතා දැක්වීම හේතුවෙන් ඔවුන් මෙසේ අවසන් වාරිකය නිදහස් කිරීම ප්‍රමාද කර තිබේ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ඊට සම්බන්ධ චීන සමාගමෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 585 ක මුදල අදාළ දෙරට අතර ඇති බදු ගිවිසුම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක් මත ශ්‍රී ලංකාවට නොදී රඳවා ගැනීමට අදාළ සමාගම කටයුතු කර ඇතැයිද රජයේ ආරංචි මාර්ග පැවසී ය.
ඒ අනුව අදාළ ගිවිසුමට එළඹ සිටින චීන මර්චන්ට් සමාගම පවසා ඇත්තේ බදු ගිවිසුම ප්‍රකාරව විනෝදාස්‌වාද කලාපයක් ඉදිකිරීමට එකඟතාවක් ඇති කරගෙන ඇති බවයි. එම වරායට ආසන්නව ගොඩකර ඉදිකරන ලද භූමියේ මෙම විනෝදාස්‌වාද කලාපය ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන ප්‍රශ්නය සමථයකට පත් වන තෙක් අදාළ ගෙවීම එම සමාගම විසින් අත්හිටුවනු ලැබ ඇත.
හම්බන්තොට වරාය කලාපය ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත යටතට ගැසට් කර ඇති බැවින් එම භූමිය යොදා ගත හැක්‌කේ නාවික හෝ වරාය ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා පමණක් බව වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඒ නිසා එම භූමිය විනෝදාස්‌වාද හෝ සංචාරක කටයුතු සඳහා යොදාගත නොහැකි බවද වරාය සභාපතිවරයා කියයි.
මේ ප්‍රශ්නය සමථයකට පත්වන තෙක් හම්බන්තොට වරාය බදු ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතු මුදල චීන මර්චන්ට් සමාගමට අයිති බැංකු ගිණුමේ රඳවා ගැනෙනු ඇති බවද වාර්තාවේ.
මේ ප්‍රශ්නය විසදාගත් පසු පමණක් අදාළ මුදල ශ්‍රී ලංකාවේ මහ බැංකුවට ලබා දීමට නියමිත බවද වාර්තාවේ.
හම්බන්තොට වරායට අයත් සම්පූර්ණ කලාපයම ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත යටතේ ගැසට් කර ඇති නිසා එම කලාපය තුළ කැසිනෝ ශාලා හෝ සංචාරක ආශ්‍රීත ක්‍රියාකාරකම් සඳහා කිසිදු පාර්ශ්වයකට අවසර දිය නොහැකි බවද වරාය සභාපතිවරයා තවදුරටත් මාධ්‍යයට පෙන්වා දී ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.12ක මුදලකට 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනයට පැවැරීමට වත්මන් රජය කටයුතු කළේ ඒ සඳහා ලබාගෙන ඇති ණය ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට අපහසු බව පවසමිනි.
COMMENTS