සම්මුතිවාදී ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා පෙරේදා (08) විපක්ෂයේ අසුන් ...
සම්මුතිවාදී ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා පෙරේදා (08) විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනසක් සිදුවිය.
ඒ අනුව කථානායකවරයා හැර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි සංඛ්‍යාව 129කි. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රි සංඛ්‍යාව 95ක් වෙයි.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු 106ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 23ක්ද ආණ්ඩුව තුළ සිටිති.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 55ක්ද, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16ක්ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු 6ක්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රිවරු 1ක්ද, ඊ.පී.ඩී.පී. එක් මන්ත්‍රිවරයෙක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 16ක්ද, මේ වන විට විපක්ෂයේ සිටිති.
ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කිරීමට මොහොතකට පෙර ආණ්ඩුවේ ඇමැති තනතුරු දැරූ 16 දෙනකු සෙංකෝලය තැන්පත් කිරීමට පෙර විපක්ෂයට පැමිණ අසුන් ගැනීම පෙරේදා සිදුවිය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සභාව කැඳවීමේ සීනුව නාදකර අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු දහසය දෙනෙක් ආණ්ඩු පක්ෂයේ දොරටුවලින් සභා ගැබට ඇතුළු වී සභාගැබ හරහා විපක්ෂයේ මන්ත්‍රි ආසන කරා ගොස් අසුන් ගත්හ.
ඔවුන් සමඟ නියෝජ්‍ය කථානායකවරයා විපක්ෂයේ අසුන් ගැනීම විශේෂත්වයක් විය. එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචි නිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුරාධ ජයරත්න යන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ පැති මාරු කරද්දී, ආණ්ඩු පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් මැති ඇමැතිවරු මේසවලට තට්ටුකරමින් අත්පොළසන් දුන්හ.
විපක්ෂයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සඳහා එකිනෙකාට සමීපව ආසන වෙන්කර තිබිණි.
COMMENTS