ආණ්ඩුව නියේජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට තවදුරටත් සාමූහික වගකීම ආරක්ෂා කිරීමට නොහැකිනම් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්න...
ආණ්ඩුව නියේජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට තවදුරටත් සාමූහික වගකීම ආරක්ෂා කිරීමට නොහැකිනම් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට පසුගියදා රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බවත් ඊට සහාය දෙන කවර හෝ එජාප මන්ත්‍රීවරයකු වෙතොත් ඔහු පක්ෂයෙන් නෙරපන බවත් ඊයේ (01) පැවැති එජාප මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරයකු වෙතොත් ඔහු පිළිබඳ තීරණ ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා සහ ලේකම්වරයා වන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සතු වගකීමක් බවද හෙතෙම පෙන්වා දෙයි.
“අද එස්.බී. දිසානායකට යූඇන්පීයේ හෝ ශ්‍රී ලනිපයේ කිසිම පදනමක් නැහැ. ඔහුට යන්න තිබෙන එකම තැන පොහොට්ටුවයි. පසුගිය මැතිවරණයේදීත් ඔහුට අත්වූයේ පරාජයයි. ඒ නිසා 2020දී පොහොට්ටුව හරහා බලයට එන්නැයි ඔහුගේ උත්සාහය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලනිපයේ නිලමතය ප්‍රකාශ කර නැහැ. ඒ සඳහා ඔවුන් රැස්වී නිල තීරණයක් ගෙන නැහැ. ඊයේ එජාප මන්ත්‍රි කණ්ඩායමක් ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළා. රටේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වූ විට රාජ්‍ය නායකයා සමඟ සාකච්ඡා කිරීම අනිවාර්යය අංගයක්. එම සාකච්ඡාව ඉතා සාර්ථකයි.“ යැයිද අජිත් පී. පෙරේරා මහතා පැවසී ය.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය තුළ ගන්නා තීරණවලට එකඟ වී පසුව විවිධ ස්ථානවලදී රජය විවේචනය කරමින් හැසිරීම දිගින් දිගටම කළ නොහැකි බවත් තවදුරටත් එසේ කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්ව විවේචනය කරන ලෙසත් මෙම අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමට සූදානම් වේ.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ අගමැතිවරයාට පමණක් නොව සමස්ත ආණ්ඩුවටම බැවින් විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ආණ්ඩුව විසිරෙන බවත්, ආණ්ඩුව තුළ සිටිමින් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වීමට කිසිදු සදාචාරාත්මත අයිතියක් නැති බවටත් කරුණු දැක්වීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සාකච්ඡාකර ඇත.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවට පක්ෂවීමට අවශ්‍ය නම් වහාම ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසද ඉල්ලා සිටීමට එජාප අමාත්‍යවරුන් තීරණය කර ඇති බවද වාර්තාවේ.
යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයේ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකර සති දෙකක් යෑමට මත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් එවැන්නක් සිදුනොකිරීම පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුව මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
ආණ්ඩුව තුළ අඩුපාඩු ඇත්නම් ඒවා සකස්කරගනිමින් ඉදිරියට යාම වෙනුවට ආණ්ඩුව වෙනස් කිරීමට මැතිවරණයෙන් ආණ්ඩුට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවද එම එජාප ඇමැතිවරු පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ තීරණය කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන හෙට (03) දිනයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමටද සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමද ඉතා උණුසුම් තත්ත්වයත් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS