රට කැඬීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඬීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බව ...
රට කැඬීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඬීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව, සෙවණපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ බොරු ප‍්‍රචාරවලට සහ අවස්ථාවදී දේශපාලන උපක‍්‍රමවලට අද මේ රටේ ජනතාව හසුනොවන අතර, රට ගමන් කරන දිසාව පිළිබඳ ජනතාව අවදියෙන් කටයුතු කරන බවයි.
අද රටට අවශ්‍ය රජෙක් පාලනය කරන ඒකාධිපති පාලනයක් නොව ජනතාව විසින් රට පාලනය කරන ක‍්‍රමයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම දේශපාලන මෙන්ම සමාජ පරිවර්තනය රට තුළ ඇති කිරීමට ඉකුත් වසර 03 තුළ තමන් කැපවූ බව සඳහන් කළේය.
අද දූෂිත දේශපාලනඥයින් එකම කණ්ඩායමක් ලෙස සන්ධානගතවෙමින් සිටින අතර මෙම වැඩපිළිවෙළ ජනතාව අවබෝධකරගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට හෝ රට සංවර්ධනයට කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බව ද කියා සිටියේය.
වංචා දූෂණ සිදුකරමින් ජනතාවගේ මුදල් කොල්ලකන සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කරන දේශපාලනඥයින්ට එරෙහිව පසුගිය යුගයේ සිටි නායකයින් පියවර නොගත්තා මෙන්ම ඒ පිළිබඳ කථා කිරීමටවත් අකමැතිවීම හේතුවෙන් පසුගිය යුගයේ රට තුළ වංචා දූෂණ වැඩිවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කොළඹ මහබැංකු මූලස්ථානයේ පැවති රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේ මැති ඇමතිවරු සමග රජයේ වංචා දූෂණ පිළිබඳ කතා කළ විට පසුදා උදෑසනම තමා අරලියගහ මන්දිරය වෙත කැඳවූ හිටපු නායකයා ආණ්ඩුවේ ඇමතිවරයෙක් සහ පක්ෂයේ ලේකම් ලෙස රජයේ වංචා දූෂණ පිළිබඳ කථා නොකළ යුතු බවටත්, වෙනත් ගමනක් යාමට සූදානම් වනවාදැයි තමාගෙන් ඇසු ප‍්‍රශ්නය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒ පිළිබඳව කතා කිරීමටවත් නොහැකිනම් අනිවාර්යෙන්ම තමන් ජනතාව වෙනුවෙන් වෙනත් ගමනක් යා යුතු යැයි එදා තීරණය කළ බවයි.
වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ, පාට, තනතුරු, ඥාති මිත‍්‍රකම් කිසිවක් නොසලකන අතර අද රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ද තම සහෝදරයන්ට ද එය කි‍්‍රයාත්මක වන්නේ එක ලෙස බව තමා මේ වන විට පෙන්වා තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS