අගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක...
අගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට සහාය දීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
එහෙත් අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බල පොරයක වුවමනාව වෙනුවෙන් හෝ දේශපාලන ගේමක් වෙනුවෙන් ගෙන එනවා නම් ඊට කිසිසේත්ම සහය දෙන්නේ නැතැයි ද දිසානායක මහතා කීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
‘‘විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි. විශ්වාසභංගය නිශ්චිත පරිදිම ඔහු වංචාවට හවුල් වූ බවටත් ඔහු වංචනිකයින් ආරක්‍ෂා කළ බවටත් වංචනිකයින්ට රැකවරණය ලබාදීම ආදී නිශ්චිත කරුණු වෙනුවෙන් ගෙන එන විශ්වාසභංගයකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දෙනවා. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේදී එහි අඩංගුව ඉදිරිපත් කළ යුතුයි.”
“අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක් බවට පත්වී සිටීම, මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප‍්‍රයත්න දැරීම, ඒ වගේම මහ බැංකු වංචා ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්‍ෂ පවුලේ වංචා-දුෂණ ආරක්‍ෂා කිරීමට ප‍්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්‍ෂ එෆ්.සී.අයි.ඩී.යට ගෙනයාමට ඉඩ නොදීම, ඇතැම් අයගේ පාස්පෝට් ප‍්‍රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්‍ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ජනවරම වන්නේ මෙම කිසිදු කණ්ඩායමකට සහාය ලබා නොදී කටයුතු කිරීමටයි. ඒ නිසා කවර පාර්ශ්වයකට හෝ සහාය නොදී ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීනව කටයුතු කරනවා. “යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS