‘ප්රජා අයිතිය අහෝසි කළ යුත්තේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ද? නැතහොත් බටලන්ද වධකාගාරයේ දී තරුණයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුර...
‘ප්රජා අයිතිය අහෝසි කළ යුත්තේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ද? නැතහොත් බටලන්ද වධකාගාරයේ දී තරුණයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් නායකයාගේ ද?’ යන පැනය රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා මෙම පැනය රට හමුවේ තැබුවේ ය. එහි දී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“2015 අගෝස්තු මහ මැතිවරණය මුවවිටේ තබා ගෙන සිදු කළ අකටයුත්ත මේ රටේ ජනතාවට අමතක නැහැ. ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ’ කියා කියපු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයත් පැහැර ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිවීම වළක්වා එජාපයේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් හදන්න ඉඩ හදලා දෙන්නයි.
දැන් ඒ වගේම අකටයුත්තක් සිදු කරන්න ‘සිරිසේන-වික්‍රමසිංහ’ ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය මුවවිටේ තබා ගෙන සූදානම් වෙනවා. ඒ තමයි ‘පොහොට්ටුව දිනුවට වැඩක් නැහැ. අපි ළඟදීම මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා.’ කියන මතය පැතිරවීම.
කාගෙද මේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන්නේ? මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේයි. ප්‍රජා අයිතිය අහෝසි කිරීම කියන මාතෘකාව පළමුව මේ රටේ දේශපාලන කරළියට ආවේ 1980 දී. තමන් පිහිටුවපු ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එහි දී ක්‍රියා කළා. දැන් යළිත් 2018 දී මේ මාතෘකාව දේශපාලන කරළියට පැමිණෙමින් තිබෙනවා.
1980ත් 2018ත් අතර මේ ‘ප්‍රජා අයිතිය අහෝසි කිරීම’ කියන මාතෘකාව මේ රටේ දේශපාලන කරළියට පැමිණියේ බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළි දැක් වු අවස්ථාවේදීයි.
‘බටලන්ද අමානුෂික ක්‍රියාවන්ට වගකිවයුතු පළමුවැනියා’
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගේ ළඟ තිබෙනවා. එහි 154 පිටුවේ මෙහෙම කියනවා.
‘රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පුද්ගලයන් රඳවා තබා ගැනීමේ ස්ථානයක් හෝ ස්ථාන පිහිටුවා පවත්වා ගැනීම සහ 1988 ජනවාරි මස පළමුවන දිනයෙන් ආරම්භව 1990 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාලසීමාවේදී එකී ස්ථානයේ හෝ ස්ථානවල කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයෝ රඳවනු ලැබ සිටියෝ ද ඔවුහු අමානුෂික හා ආත්ම ගෞරවය කෙළෙසන ක්‍රියාවන්ට හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙසට යම් ලිඛිත නීතියක් යටතේ වරදක් වන සැලකිල්ලට භාජනය කරන ලද්දෝ ද යන වග සහ එකී ක්‍රියා සඳහා සෘජුව හෝ අනියමින් වගකිව යුතු වන පුද්ගලයා හෝ පුද්ගලයෝ
1.1986න් ආරම්භව විවිධ අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ මහතා (එම මහතා අදාළ කාලසීමාව තුළ කැබිනට් අමාත්‍යවරයකු විය.) රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ අදාළ බලධාරීන්ට එකී සංස්ථාවට අයත් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස කැළණිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට වෙන් කොට මුදාලන ලෙස නියම කර තිබේ.’
එහෙම පටන් අරන් 159 පිටුවේ තිබෙනවා, ‘රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ B2, B8, B34 හා A1/8 යන නිවාසවල නීතවිරෝධි රැදවුම් ස්ථාන හා වධකාගාර පැවැත්වීමට අනියමින් වගකිව වගකිවයුතු වන්නෝ ය” කියා.
‘රනිල්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ නිර්දේශය’
ඒ වගේම එහි 162 හා 163 පිටුවල රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නිර්දේශ මෙන්න මේ විදිහට තිබෙනවා.
‘මුලින් වූ පරිච්ඡේදවල ප්‍රකාශ කරන ලද පරිදි, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙන්ම එවකට පැවැති රජයේ දේශපාලනඥයෙකු (ඒ දේශපාලනඥයා තමයි රනිල් වික්‍රමසිංහ) මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කරනු ලැබූ ආකාරය අපි විසින් නිරීක්ෂණය කොට ඇත… පෙර කී අයිතිවාසිකම් දඬුවම් විඳීමට සිදු වන බියක් නොමැතිව පිට පිට උල්ලංඝණය කර ඇති බව අපට පෙනී යයි… පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝණය කර ඇතැයි හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ “ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ” ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයන්ට පැමිණවීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අප නිර්දේශ කරමු.’ උපුටා ගැනීම අවසන්. නිර්දේශ ඉදිරිපත් කළේ බටලන්ද කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්.
ඉහත මම පැහැදිලි කළේ 1980න් පසුව ‘ප්‍රජා අයිතිය අහිමි කිරීම’ කියන මාතෘකාව දේශපාලන කරළියට පැමිණි අවස්ථාවයි. එසේ බටලන්ද කොමිෂන් සභාව එකී රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශය ඉදිරිපත් කරනු ලබන්නේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටයි. ඇය ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකළ බව අපි දන්නවා. එහෙම අයයි, අද රට බේරාගත්, අපට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන නන් දොඩවන්නේ.
‘චන්ද්‍රිකා හමුවේ අල්ලස් කොමිසම නිහඬ වූ හැටි’
මෙහි දී හැම තිස්සේම ‘රාජපක්ෂ හොරා කෑවා’ කියන චන්ද්‍රිකා කුමාරතුංගටත් ඇයගේ අතීතය මතක් කර දීමට අපි කැමතියි. මේ මගේ අතේ තිබෙන්නේ ‘වෝටර්ස් ඒජ්’ අක්‍රමිකතාවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවේ නඩු තීන්දුව. ඒ නඩුවේ පළමු වගඋත්තරකරු අංක 07, නිදහස් ඇවනියු, කොළඹ 07, යන ලිපිනයේ පදිංචි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ‘වෝටර්ස් ඒජ්’ ගනුදෙනුව අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පළමුවන වගඋත්තරකාරිය ඇතුළු පස්දෙනකුට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතුයි’ කියා නඩු තීන්දුවේ තිබෙනවා. නමුත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඒ තීන්දුව ප්‍රකාරව කටයුතු කරලා නැහැ.
මේ අය රට බේරාගත් නායකයාගේ, අපට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන කොට ‘මේ ලේ වැකි – හොරකමින් පිරුණු ඉතිහාසය’ කෘතගුණ දත් ජනතා අධිකරණය ඉදිරියේ තැබිය යුතු වෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තා මේ රටේ ඉතිහාසය පුරා යොදා ගෙන ඇත්තේ මැතිවරණ කාලවල ජනතාව රැවටීමේ මෙවලමක් විදිහට බව අපට පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා මේ සියල්ල දෙස හොඳින් සලකා බලා ජනතා අධිකරණය තීන්දු කළ යුතුයි, ප්‍රජා අයිතිය අහෝසි කළ යුත්තේ රනිල්ගේ ද? , චන්ද්‍රිකාගේ ද?, මහින්දගේ ද? කියා. ඒ අනුව සිතමින් මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙබරවාරි 10 වැනි දා පොහොට්ටුවට අතිවිශිෂ්ට ජයක් හිමි කර දෙනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා.”
COMMENTS