ශ්‍රී ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්...
ශ්‍රී ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික නීතිමය සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ අපේක්ෂාවයි.
අද ලෝකයේ සියලු රටවල් විසින් වංචාව සහ දූෂණය පිටුදැකීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන අතර එම ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ සම්මුතීන්, නීතිරිති සහ යාන්ත‍්‍රණයන් පළාත්, ජාතික සහ ජාත්‍යන්තර මටිටමින් ක්‍රියාත්මක කරමින් සිටී.
ශ්‍රී ලංකාව තුළ ද එකී වැඩපිළිවෙළක අවශ්‍යතාවය හඳුනාගනිමින් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට 2017-10-24 වන දින කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ අනුව එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඒ සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප‍්‍රජා පාදක සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා කැඳවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ විද්වත් අදහස් සහ යෝජනා ලබා ගැනීම අද පැවති සාකච්ඡාවේදී සිදුවූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් සහ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස සහ දූෂණය නිවාරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ආදි කරුණු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ ක්‍රියාත්මක කළ යුතු දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් ද හඳුනා ගෙන තිබේ. දූෂණ නිවාරණයේ දී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගේ හවුල්කාරිත්වයක් තුළින් ඇතිවන ජාතික ක්‍රියාකාරී කමිටුවක් නිර්මාණය කිරීම තුළින් මහජන නියෝජිතයින්ගේ අල්ලස් සහ දූෂණ වැළැක්වීම සහ මහජන නියෝජිතයින්ගේ සුපිළිපන්න භාවය වැඩිදියුණු කිරීම අපේක්ෂා කරයි.
පෞද්ගලික අංශයේ අල්ලස් සහ දූෂණ ක්‍රියා වැළැක්වීම, රාජ්‍ය ප‍්‍රසම්පාදන සහ මුදල් කළමනාකරණයේ දී ඇතිවිය හැකි අල්ලස් සහ දූෂණ වැළැක්වීම, අල්ලස්, දූෂණ, මුදල් විශුද්ධිකරණය ඇතුළු අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සකස් කළ යුතු නීති, අල්ලස් සහ දූෂණය සම්බන්ධයෙන් වන නීතිය සහ ඊට අදාළ වෙනත් නීති සංශෝධන, දූෂණයට එරෙහිව හඬනගන්නන් ආරක්ෂා කිරීම, මැතිවරණවලට මුදල් යෙදවීම සිමා කිරීම සම්බන්ධයෙන් සකස් කළ යුතු නීති රීති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.
COMMENTS