රට පුරා අලවා ඇති “බය නැති අගමැති“ කියන පෝස්ටරය ලැජ්ජා බය නැති අගමැති යනුවෙන් වෙනස් විය යුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන...
රට පුරා අලවා ඇති “බය නැති අගමැති“ කියන පෝස්ටරය ලැජ්ජා බය නැති අගමැති යනුවෙන් වෙනස් විය යුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙතෙක් හිටපු කිසිදු අගමැතිවරයෙකු මහ බැංකුව මංකොල්ල කාලා නැති බවත් “බය නැති අගමැති“ කියලා පෝස්ටර් ගැහුවට දප්පුල ද ලිවේරාට ප්‍රශ්න අහන්න එපා කියා දන්වා ඇති බවත් බය නැත්නම් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
“තව සමහරු කියනවා රටේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ අගමැතිත් කොමිසමට එනවා. වෙන රටකවත් මෙහෙම වෙන්නේ නෑලු. වෙන රටවල තියා අපේ රටේවත් මෙතෙක් හිටපු කිසිම අගමැති කෙනෙක් මහ බැංකුව මංකොල්ල කාලත් නැති බව මේ අයට මතක් කළ යුතුයි. බය නැති අගමැති කියලා පෝස්ටර් ගැහුවට දප්පුල ද ලිවේරාට ප්‍රශ්න අහන්න එපා කියලා කිව්වා. බය නැත්නම් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. නමුත් ඇත්තටම වුණේ සති දෙකකට කලින් නීතිපතිතුමා අගමැතිතුමාට යවපු ප්‍රශ්න ටිකට උත්තර දීපු එකයි. ඕක නම් කොමිසමට නොගිහින් වුණත් කරන්න පුළුවන්. ඔය කොමිසමට යන්න කලින් මහ බැංකුවේ නිලධාරීන් බය කළා. එක දිගට හිටපු මහ බැංකු නිලධාරීන් මාරු කරනවා කිව්වා. අද වෙනකොට මහ බැංකුවේ නිලධාරීන් 200ක් විතර මාරු කරලා තියෙනවා. ඉතින් බය නැත්නම් ඔය වගේ දේවල් කරයිද?“
“අගමැතිවරයා කොමිසමට ගිහින් ඇවිල්ලා කිව්වා වැරැදි වුණානම් නිවැරැදි කර ගන්නවා කියලා. ඒකෙන්ම පිළිගන්නවා වැරැද්දක් වුණා කියලා. නමුත් එදා මේ හොරකම වහන්න මොනවද නොකළේ. කලින් කෝප් වාර්තාව එන්න දවසකට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ෆුට් නෝට් කල්ලිය දාලා ගේමක් ගැහුවා. එජාප නීතිඥයන් දාලා කමිටුවක් හදලා මේකේ වැරැද්දක් නෑ කිව්වා. පොත් ගැහුවා. මොන විහිළුද මේ. දැන් හිටපු ඇමැති රවි මේකට අහුවුණ වෙලාවේ ඉල්ලා අස්වෙන්න කිව්වා වගේ, අගමැතිවරයාත් මේ පරීක්ෂණවලට සහාය දෙන්න ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වී මේ පරීක්ෂණවලට සහාය දිය යුතුයි. දැන් ඉන්න විදිහට බලයේ ඉදගෙන පරීක්ෂණ සාධාරණයි, මම බය නෑ කියන ඒවා විහිළු. අර අලවපු පෝස්ටරය ලැජ්ජා බය නැති අගමැති කියලා වෙනස් කරන්න කියලා අපි කියනවා.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS