රැකියා නියුක්තිකයන් සහ රක්ෂණ සමාගම්වලට, ‘සිය ආගමික විශ්වාසයන්ට පටහැණි වන්නේ නම්’හෝ ‘සදාචාර වටිනාකම්වලට විරුද්ධ නම්’ උපත් පාලන උපක්‍රම අනු...
රැකියා නියුක්තිකයන් සහ රක්ෂණ සමාගම්වලට, ‘සිය ආගමික විශ්වාසයන්ට පටහැණි වන්නේ නම්’හෝ ‘සදාචාර වටිනාකම්වලට විරුද්ධ නම්’ උපත් පාලන උපක්‍රම අනුගමනය කිරීමෙන් වැළකීමේ අයිතිය ද මෙමගින් අතුරු විධානයක් වශයෙන් හිමි වේ.
රිපබ්ලිකන් කොංග්‍රසයේ කථානායක පෝල් රයන් පවසා තිබෙන්නේ නව නීතිය “ආගමික නිදහස පිළිබඳ වැදගත් සංධිස්ථානයක්“ බවයි.
මේ අතර ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව මෙම තීරණය පසසමින් පවසා තිබෙන්නේ ‘ගැබ් ගැනීම වැළැක්වීම නිසා ‘අවදානම්කාරී ලිංගික චර්යාවන්’ දිරිමත් වන බවත් ට්‍රම්ප්ගේ තීරණය මේ අනුව කාලීන එකක් වන බවත් ය.
මේ තත්වය, බොහෝ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ කෝපයට සහ නොසන්සුන්තාවයට ද හේතු වී ඇත. ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමය (The American Civil Liberties Union (ACLU) සහ ජාතික කාන්තා නීති මධ්‍යස්ථානය පවසන්නේ මේ තීරණය සම්බන්ධයෙන් තමන් ෆෙඩරල් රජයට විරුද්ධව නඩු පැවරීමට සූදානම් වන බවයි.
උපත් පාලනය කාන්තා අයිතියකි.
ඇමරිකානු කාන්තාවන්ගෙන් 90%ක් සිය ජීවිතයේදී උපත් පාලන ක්‍රම භාවිතා කරති. එයින් අදහස් වන්නේ එය විකල්පයක් වශයෙන් නොව, අයිතියක් වශයෙන් ඔවුන්ට හිමිවිය යුතු තත්වයක් බවයි. මිලියන ගණනක් වූ ඇමරිකානුවන්ට උපත් පාලන ක්‍රම සඳහා වියදම් වන මුදල් ආපසු අය කර ගැනීමට අවස්ථාව ලබාදීම නොඑසේ නම් ඒ සම්බන්ධයෙන් රක්ෂණයක් ඒම හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාමා විසින් 2010 වසරේදී හඳුන්වා දුන් ‘ඔබාමා කෙයා’ සෞඛ්‍ය රක්ෂණයේ එක් වැදගත් වගන්තියක් විය. සමීක්ෂණවලින් හෙළි වී ඇති අන්දමට මෙම ඔබාමා කෙයා රක්ෂණ ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව” ඇමරිකාව තුළ අනවශ්‍ය ගැබ් ගැනීම් 18%කින් පමණ අඩු වී තිබේ. රැකියාවේ නියුතු ඇමරිකානු කාන්තාවන්ට මෙම උපත් පාලන රක්ෂණය හරහා වසරකට ඩොලර් බිලියන 1.4 ක් ආපසු අය කර ගැනීමට හැකි විය. වෙනත් වචනවලින් පවසන්නේ නම් එපමණ මුදලක් ඔවුන්ට ඉතිරි කර ගැනීමට හැකි විය. ඇමරිකානු පර්යේෂණ විසින් හෙළි කර සිටින්නේ එරට වැඩ කරන කාන්තාවන්ගෙන් 1/3 ක් සිය ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක තමන්ගේ උපත් පාලන උපක්‍රම සඳහා වැය වන මුදල දැරීමට අපොහොසත් වන බව සහ” ඒ හරහා අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වන බවය. මෙයින් අතිබහුතරය විවාහක කාන්තාවන් ය.
මේ අනුව ‘තමන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ මූලික මිනිස් අයිතිය, ට්‍රම්ප් පරිපාලනය විසින් අහිමි කරමින් සිටියි.
එසේම මෙම රක්ෂණය අහිමි වීම නිසා, හුදෙක් උපත් පාලන ක්‍රම සඳහා වැය වන මුදල අයකර ගැනීමට අසමත් වීමට අමතරව, බරපතළ ප්‍රජනන පද්ධති ආබාධවලින් පෙළෙන කාන්තාවන්ට සැපයෙන සෞඛ්‍ය ආවරණය ද අහිමි වීමේ අවදානමක් ඇත. උදාහරණයක් වශයෙන් Polycystic Ovarian Syndrome වැනි රෝග තත්වවලින් පෙළෙන කාන්තාවන්ට සිය ප්‍රතිකාර ගාස්තුවලින් කොටසක් ද මෙම උපත් පාලන රක්ෂණය හරහා ආවරණය කර ගත හැකිව තිබූ අතර ඔවුන්ට ඉදිරියේදී එම අවස්ථාව අහිමි වනු ඇත.
ට්‍රම්ප් විසින් ඔබාමා කෙයා කණපිට හරවන හැටි
මෙම උපත් පාලන රක්ෂණයට අමතරව ජනපති ට්‍රම්ප් විසින් මේ දක්වා තම සෞඛ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් සිදුකර තිබෙන්නේ සෞඛ්‍යය අඩපණ කිරීම ද නැතිනම් සුව සේවා නගා සිටුවීමදැයි ක්‍රියාකාරිකයෝ ප්‍රශ්න කරති. ඔවුන්ට අනුව ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙසේ ය.
- 2010 වසරේ පටන් ක්‍රියාත්මක Affordable Care Act හෙවත් ‘ඔබාමා කෙයා පනත’ අවලංගු කිරීම
- උපත් පාලන රක්ෂණය නතර කිරීම
- මාතෘ මරණ අවම කිරීමේ වැඩසටහන් සඳහා ලබාදෙන ප්‍රතිපාදන කපා හැරීම
- සැලසුම්සහගත මාතෘත්වය සහ පීතෘත්වය සඳහා ඇති අයිතිය අවහිර කිරීම
- මිලියන ගණනකට සෞඛ්‍ය රක්ෂණ අහිමි කිරීම
ඔබාමා කෙයා සුව සේවා වැඩසටහන සම්පුර්ණයෙන්ම නවත්වා දමන බව ට්‍රම්ප්, මැතිවරණ සමයේදී ද නැවත නැවතත් කියා තිබේ. කෙසේ නමුත් ඔබාමා කෙයා පනත සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට ඔහු ගත් උත්සාහය, ඔහුගේම පක්ෂය වන රිපබ්ලිකන් බහුතරයක් සිටින කොංග්‍රසයේ මත විමසුමේදී ද කිහිප වරක් පරාජය විය. මේ අනුව ට්‍රම්ප් දැන් මේ සිදුකරන්නේ ඔබාමා කෙයා හි අඩංගු වැදගත් සංරචක එකින් එක විනාශ කරමින් ඔබාමා කෙයා සුව සේවා වැඩසටහන සහ නීතිය ටිකෙන් ටික විනාශ කිරීම නොවේදැයි විචාරකයෝ ප්‍රශ්න කරති.
- අමාලි ජයවීර
COMMENTS