නවකතාව එළිදක්වන අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල, කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර සහ පුබුදු ජයගොඩ ආදී සාහිත්‍යය කලා සහ දේශපාලන විචාරක...
නවකතාව එළිදක්වන අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල, කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර සහ පුබුදු ජයගොඩ ආදී සාහිත්‍යය කලා සහ දේශපාලන විචාරකයන් විසින් දක්වන ලද අදහස් පිළිවෙලින් සිහිකැඳවීමට මෙය ලියන මොහොත තුළ මා හට නොහැකි වුවද ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කෙරෙන් මෙම නවකතාව පිළිබඳ ඉදිරිපත් වූ අදහස නම්, මෙය (හෝ එම අදහස් මා සංක්‍ෂිප්ත කළ ආකාරය* ”නවකතාමය ෂානරයකට (Genre of Novel) යටත් කිරීමේ අභියෝගයට විචාරකයා මුහුණ දිය හැකි නවකතාවක්ය” යන්නයි. එනයින්ම මෙම නවකතාව විසින් කිසියම් ප‍්‍රහේලිකාත්මක තත්වයක් ජනිත කිරීම මෙන්ම සාම්ප‍්‍රදායික විචාර න්‍යායික කියවීමකට ද කිසියම් අභියෝගයක් එල්ල කරන බවට ද මවිසින් පූර්ව නිගමනයකට එළැබිණ. පසුව, නවකතාව කිහිපවරක් කියවා බැලීමෙන් අනතුරුව නැතිනම් අර්ථවත් ලෙස කියවීමට උත්සාහ ගැනීමෙන් ඉක්බිතිව මවිසින් මෙම පඨිතය (Text) පිළිබඳ සිදුකරන කිසියම් වාස්තවික-පඨිතමය කියවීමක් ගෙනහැර පෑමට මෙම රචනය තුළින් සිදුවෙයි. කෙසේමුත්, මගේ කියවීම ද මෙම කෘතියේ පළමු විචාරකයන් විසින් සිදුකළ ඌනිත කියවීම (Reductionist Reading) වඩා පළල් අර්ථයකින් අභිබවා යන ආකාරයේ එකක් නොවිය හැක. නමුත් වඩාත් ව්‍යුහාත්මකව, භාෂා විද්‍යාත්මක මානයන් තුළින් මෙම නවකතාව දෙස විචාරක්‍ෂිය යොමු කිරීම හරහා එය සතු පඨිතමය (Textual) ගුණය කිසියම් ආකාරයකින් ඉස්මතු කරගත හැකි බවට පළමුව උපකල්පනය කරමි. මෙහිදී මගේ මූලික අභිප‍්‍රාය වන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික සාහිත්‍යය කතිකාවක් තුළ මෙම නවකතාවට හිමිවිය යුතු සාහිත්‍යමය වැදගත්කම හා සමකාලීන සමාජ-දේශපාලනික යථාර්ථයක් ගවේෂණය කරන පඨිතයක් වශයෙන් එය කියවිය හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනයක නිරත වීමයි.
මෙම නවකතාව සන්දර්භගත වන සමකාලීන පරිසරය රෝහණ විජේවීරගේ හා වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඝාතනයන් සිදුවන කාල රාමුව වශයෙන් කතුවරයා අපිට සිය හැඳින්වීමේදී පහදා දී තිබේ. එම කාල අවකාශීය රාමුව තුළ බහා ඔහු ගොතන ප‍්‍රබන්ධය කිසියම් ම අවස්ථාවකදී හෝ නැවත සැබෑ කාල අවකාශය වෙත (Actual Time and Space) අප ගෙන යන්නේ නැත. බොහෝ විට නවකතාව තුළ කාල මානයන් ප‍්‍රකාශ වීම කාලය පිළිබඳ ඓතිහාසික ප‍්‍රගති මානයකින් (Temporal) ප‍්‍රකාශයට පත් නොවෙයි. එසේම හැඳින්වීම තුළ නවකතාව ගලා යන කාලය විජේවීරගේ අවසානය හා ප‍්‍රභාකරන්ගේ අවසානය අතර සලකුණු වන බව කීව ද නැවත නවකතාවෙහි එම කාල-අවකාශ රාමුව තුළ හමුවිය යුතු සිද්ධීන්, පුද්ගලයන් හා සංඥාවන් අපට හමුවන්නේ ද මඳ වශයෙනි. අවස්ථා කිහිපයකදී පමණක් අපට එම යුගය හඳුනා ගැනීමට හැකි වන ආකාරයේ සංකේතයන් කිහිපයක් මුණ ගැසෙයි; උදා - ‘මව්බිම නැත්නම් මරණය’, ‘බාබු’, ‘කිරිබත් කෑම’ ආදිය. නමුත් නවකතාව තුළ කේන්ද්‍රීය වශයෙන් අවධාරණය වන සංඥා භාෂාවක් අපට අභිමුඛ වෙයි; ‘යුද අධිකාරී අභිමානය’, ‘රුධිර ගලනය’, ඩිජිටල් මව්බිම’, ‘ගුද රුධිරය’ වැනි නවමු යෙදුම් රාශියක් හඳුනා ගත හැකිය. මෙම යුගය තුළ පැවති භීෂණය, යුද මානසිකත්වය, මිලිටරිකරණය හා පාරිභෝජන තාක්‍ෂණවාදය උත්කර්ෂයට පැමිණීම පිළිබඳ කියවීමක් ඒ ආශ‍්‍රයෙන් ඉතා නිර්මාණශීලීව ගෙන ඒමට කතුවරයා සමත් වෙයි. එම සමකාලීන දේශපාලන, සමාජ-ආර්ථික හා සංස්කෘතික පසුබිම තුළ ගලායන අතිශය වින්දනීය හා විටෙක ඕලාරික බවකින් ද යුක්ත වන කතන්දරයක් නවකතාව තුළ පවතී.
මෙහිදී සාහිත්‍යය යනු කුමක්ද යන පැනයට සාම්ප‍්‍රදායික විචාරකයා දෙන පිළිතුර හා මෙම නවකතාවේ සාහිත්‍යය යනු කුමක්දැයි අපට හඳුන්වා දෙන කේන්ද්‍රීය හැඟවුම්කාරකය (Principle Signifire) අතර කිසියම් සමෝධානයක් ඇති කිරීම උචිත බව පළමුකොට හඟිමි. ‘සාහිත්‍යය යනු කුමක්ද?’ යන ගැටළුවට වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා දාර්ශනික අර්ථයක් සපයන ජැක්ස් ඩෙරීඩා වෙත යොමුවෙමු.
ඩෙරීඩාට අනුව ”සාහිත්‍යය යනු අසීමාන්තික සන්දර්භයක් තුළ ප‍්‍රතිඋච්චාරණය විය හැකි හා හඳුනාගත හැකි කථකයෙක්, සන්දර්භයක්, සමුද්දේශයක් හෝ අසන්නෙක් නොමැතිව ක‍්‍රියාත්මක විය හැකි (function) ඕනෑම උච්චාරණයක්, ලිවීමක් හෝ සළකුණක පැවැත්ම පිළිබඳ වන ශක්‍යතාවයයි. ඔහුට අනුව පාඨකයාට තමා කියවන පඨිතය තුළ වන සැබෑ චරිත හා අවස්ථා පිළිබඳව උපකල්පනය කිරීමේ නිදහස පවතී. නමුත්, එය නිරර්ථක ක‍්‍රියාවකි. කිසියම් ආකාරයකින් සාහිත්‍යය මගින් භාෂාව සතු සමුද්දේශන කෘත්‍ය (Referential Function) අත්හිටුවන හෝ අහෝසි කරනු නොලැබීමයි.” සාහිත්‍යය තුළ කිසිවිටෙකත් ”වඩාත් විශ්වසනීයව (Most Probably) කිසිදු චරිත හෝ සිද්ධි නිරූපණයක් සිදුකළ නොහැක. නමුත් නවකතාවේ ‘කථකයාට’ සාහිත්‍යයෙන් හෝ භාෂාවෙන් පිටත පවත්නා සැබෑ, සත්‍යෝක්‍ෂණය කළ හැකි ශක්‍යතාවක් පැවතිය හැක.” කතුවරයාට එම කථකයාගේ තත්‍යමය ජීවිතය කොතෙක් යථාර්ථවත්, සත්‍යමය ආකාරයකින් ප‍්‍රකාශ කළ හැකිද යන්න ගැටළුවකි. මේ අනුව සාහිත්‍යය යනු කුමක්ද? යන පැනය නිරන්තරයෙන් අප අභිමුව පවතී. ඩෙරීඩාට අනුව එසේ සාහිත්‍යය යනුවෙන් පවතින දෙයක් නොමැත. ඒ අනුව, ”සාහිත්‍යය යනු කිසියම් පඨිතයක් තුළ සඟවා තැබූ සාරයක් (Essence) නොවෙයි. ඕනෑම ලිඛිත හෝ වාචික භාෂාමය රචනයක් සාහිත්‍යය වශයෙන් පිළිගත හැකි වන්නේ එය සාහිත්‍යමය වශයෙන් අපට ඕනෑම ආකාරයකට මෙහෙයවීමේ හැකියාව පවතින නිසා නොව, නෛසර්ගිකවම සාහිත්‍යය වශයෙන් හඳුනාගත හැකිවීමේ ශක්‍යතාවය (Possibility) එය තුළ ගැබ් වන බැවිනි.” අවසාන වශයෙන් ”භාෂාව එය දැඩි ලෙස පැළපදියම් වී ඇති (Embeddedness) සමාජීය හෝ චරිතාපදානමය (Social or Biographical) සන්දර්භයෙන් වෙන් කිරීම සඳහා පැවතිය හැකි ශක්‍යතාවය හා භාෂාවට ප‍්‍රබන්ධයක් වශයෙන් නිදහසේ චලනය වීමට (Freely Play) ඉඩ ලබාදීමට ඇති හැකියාව මත සාහිත්‍යය පරායත්ත වෙයි.” උක්තව දක්වන ලද දීර්ඝ උපුටනය (පරිවර්තනය මගේ* හරහා වඩාත් විශ්වසනීය ලෙස කියාපෑමට ඇති ශක්‍යතාවය නම් කිසිදු සැකයකින් තොරව ප‍්‍රභාත් හේමන්තගේ නවකතාව සාහිත්‍යමය පඨිතයක් වන බවයි. ඩෙරීඩියානු අර්ථයකින් වඩාත් නිශ්චිතකොට දැක්වුවහොත් භාෂාව එය මුල්බැසගත් සිද්ධි, චරිත, කාල සන්දර්භ අවකාශයන්ගෙන් ගලවාගෙන වඩාත් නිදහස්කාමී චලනයකට ඉඩ සලසාදෙන සාහිත්‍යමය ප‍්‍රයත්නයක් වශයෙන් ‘හිරුත් එක්ක හෙලූවැල්ලෙන්’ හඳුන්වා දිය හැකිය. උපුල් ශාන්ත සන්නස්ගල වැනි විචාරකයෙකුට මෙම නවකතාව පිළිබඳව නොතේරෙන දෙය මේ හරහා තේරුම්ගත හැකිවන බව විශ්වාස කරමි.
එනයින්ම, ‘හිරුත් එක්ක හෙලූවැල්ලෙන්’ යනු සාම්ප‍්‍රදායික සාහිත්‍යය විචාරයට හසුකරගත හැකි ආකාරයේ ව්‍යුහාත්මක ලක්‍ෂණ පිළිබඳ ශක්‍යතාවයට(Possibility of Structural Conformity) එකඟ නොවන්නා වූ පඨිතයකි. නවකතාවේ සමස්ත රචනයම භාෂාත්මක සංඥාවන් පිළිබඳ නවමු පර්යේෂණයක් බඳුය; නැතිනම්, විසංයෝජනීය (Deconstructive) රචනය පිළිබඳ ඉතාමත් සවිඥානික මෙහෙයුමක් ලෙස ද දැක්විය හැකිය. එසේම සමකාලීන යථාර්ථය ඓතිහාසිකගත කිරීමේදී (historicizing) පැවතිය යුතු යැයි අප සිතූ සියලූ පුද්ගල, ස්ථානීය හා දේශපාලන නාමරකරණයන් පිළිබඳ, සංඥාවන් වෙනුවට නවතම භාෂාත්මක සංඥා පද්ධතියක් පිළිබඳ ශක්‍යතාවයට ඉඩ සලසන (Possibility of New Lingue) පඨිතයකි. එම නිසා මෙම නවකතාව තුළ පවත්නා රචනා රීතිය, ආඛ්‍යාන රටාව, සිද්ධීන්, චරිතයන් ආදී ලක්‍ෂණ සියල්ලක්ම මගින් නිරූපණය වන්නේ (Represent) භාෂාත්මක ලෝකය තුළ පවතින සංඥාවන් ප‍්‍රතිසන්දර්භගත කිරීම පිළිබඳ අර්බුදය එසේත් නැතිනම් එම සංකේතනයන්ගේ (Signification) අර්ථ රටාව පවත්නා පර්යාය පිළිවෙලට (Existing Order) විරුද්ධව සැකසීම තුළ මතුවන අර්ථයන්ය. එසේම එම තාක්‍ෂණික හරඹය නිසාම නවකතාව සාම්ප‍්‍රදායික පාඨක මනසට හා විචාරක චින්තනයට වෙහෙසකර ව්‍යායාමයක් (Difficult Exercise) සපයයි. නැතිනම්, ‘කියවීම’ යනු සංඥාවන්ගේ අර්ථය අප දන්නා තත්‍ය යථාර්ථය වශයෙන් අවබෝධ කර ගැනීමක් හෝ ‘කියවීම’ යනු සංඥාවන්ගේ අර්ථයන් අපට වඩාත් සුවපහසු (Convenient) ආකාරයකින් රටාගත කිරීමක් නොව එම සංඥාවන් අප දකින රටාගත කිරීමෙන් ඔබ්බට මෙහෙය වීමෙන් එම සංඥාවන් විසින්ම ස්වයංව රටාගත වීමක් කරා මෙහෙයවීමක්ය, නැත්නම් නව සංඥාර්ථමය පිළිවෙලක් (New Semiotic Order) නිර්මාණය වීමට ඉඩහැරීමක්ය යන පශ්චාත්-ව්‍යුහවාදී (Post-Structural) කියවීම පිළිබඳ ප‍්‍රබල ඉඟි මෙම නවකතාව තුළින් මතුකර ගත හැකිය.
කෙසේමුත්, භාෂාත්මක විශ්වය තුළ(Universe of Language) මෙම නවකතාව ද නවකතාමය ෂානරය තුළ විය යුතු පරිදි සිද්ධි, චරිත, පරිසරය හා මානව යථාර්ථය වඩාත් පරිකල්පනීයව හා නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි. ප‍්‍රධානම විශේෂත්වය වන්නේ මෙහි එන චරිත සියල්ලක්ම අතිශය නිර්ප‍්‍රභූ (Subaltern) වීමත්, එම චරිත වඩාත් සුවිශේෂීයව පවතිමින් සාමාන්‍යකරණයට විවෘත වීමේ ශක්‍යතාවයට ඉඩ සැලසීමත්ය.අනෙක්පසින්, නවකතාව තුළ නිරන්තරයෙන්ම ප‍්‍රතිරූපණය වෙමින් (Replay) දිවෙන සංඥාවන් හරහා ලිංගිකත්වය, විපරීත කාමුකත්වය, ප‍්‍රචණ්ඩත්වය, පාරිභෝජනකාමය, අත්පත් කර ගැනීම, යටත් කර ගැනීම පිළිබඳ මානව අභිප‍්‍රාය (Human Will) හා බලය පිළිබඳ අවකාශය තුළ මිනිස් චර්යාව දක්වන බයාදු ස්වභාවය (Subordination) හෝ වීරත්වය ඉතා පුළුල් අධෝව්‍යුහමය කියවීමක් සමග එනම්, පාරිභෝජනවාදය හා අප‍්‍රජාතාන්ත‍්‍රික ආර්ථික ක‍්‍රියාවලියක් තුළින් පසුබිම්ගත කිරීම සාර්ථකව සිදුවෙයි.
නවකතාවේ ආරම්භක වාක්‍යය දෙසට මොහොතකට අවධානය යොමු කරමු.
”ඉහළ ආකාසයේ ලොකු කුඩා වළාකුළු පසුකරමින් තැලූණු තට්ටම්, සිරවූ සුසුම්, වහනය වන රුධිරය, සළිත වූ සිරුර, කැළතුණු යටිබඩ මෙන්ම ජංගම සංචාරක යන්ත‍්‍රය කිහිල්ලෙහි රුවාගත් කඩියා පාවී ඉදිරියට ඇදෙන්නේ විසල් සුළං කෝඩයක ආධාරයෙනි.”
මෙම වාක්‍ය තුළ සුවපහසුවෙන් කියවාගත හැකි වාක්‍ය රටාවක් නොමැති විය හැක. එය එක් අතකින් දිගු විශේෂණ පද ඛණ්ඩයකින් සමන්විත වීම නිසා උදාවන තත්වයකි. නැතිනම් එහි ඇත්තේ ද උක්තාඛ්‍යාත සහිත වාක්‍ය රටාවකි. ”ඉහළ ආකාසයේ ලොකු කුඩා වළාකුළු පසු කරමින් කඩියා පාවී ඉදිරියට ඇදෙන්නේ විසල් සුළුං කෝඩයක ආධාරයෙනි. ඔහු අතේ Laptop එකක් ද වෙයි” යනුවෙන් මෙම වාක්‍ය ප‍්‍රතිනිර්මාණය වන්නේ නම් එය ව්‍යුහාත්මකව අපට පහසු රටාවක් ගෙන එනු ඇත (අප හුරු වී ඇති ව්‍යුහය*. නමුත් පළමුව ‘කඩියා’ගේ ශාරීරික හා මානසික තත්වය විස්තර කිරීමට කතුවරයාට අවශ්‍ය වෙයි. එමනිසා ඔහු දිගු විශේෂණ පද කණ්ඩයක් බහාලයි. ”...තැලූණු තට්ටම්, සිරවූ සුසුම්, වහනය වන රුධිරය, සළිත වූ සිරුර, කැළතුණු යටිබඩ මෙන්ම ජංගම සංචාරක යන්ත‍්‍රය කිහිල්ලේ රුවාගත්...” වශයෙන් ඔහු කඩියාගේ ස්වරූපය අපට එකම පින්සල් පහරකින් පෙන්වාදීමට උත්සාහ කරයි.
එසේම එම චරිතය අත්විඳින ශාරීරික හා මානසික තත්වයන් එනම් වධබන්ධනයට පත්ව පීඩාවට ලක්ව සිටින තත්වය වඩාත් විශ්වසනීය ආකාරයකින් ඉදිරිපත් වී ඇත. මෙහිදී කතුවරයාට (Author) වඩා කථකයා (Narrator) ප‍්‍රබල වී ඇත. කතුවරයාට අවශ්‍ය විය හැක්කේ ‘කඩියා’ පැමිණි විකාරසහගත ආකාරය අප වෙත දැක්වීමට වුවත් කථකයා එය චරිතය විසින් අත්විඳිය හැකි ආකාරය පිළිබඳ වඩාත් තත්‍යමය (Real) චිත‍්‍රයක් ගෙනහැර පෑමට උත්සාහ කරයි. එනම්, කතුවරයාගෙන් විනිර්මුක්තව භාෂාව නිදහසේ චලනය වන ආකාරය පිළිබඳ මනා නිදසුනකි එය.
එසේම කඩියා යනු කවුරුද? ඔහු අප දන්නා ආකාරයේ ස්ථාපිත චරිත ඝණයට වැටෙන වීරයෙක් නොවෙයි (අරවින්ද, පියල්, ගොළු විජේ, දඩයක්කාරයා*. එය පුද්ගල නාමයක් හා අපුද්ගල නාමයක් අතර සංකලය වන සංඥාවකි. එය පුරුෂ සංකේතයක් විය හැක. නමුත් එය ඕනෑම පුරුෂ නාමයකට අදාල කරගත හැකි පුද්ගල අන්වර්ථ නාමයකි. ‘කඩියා’ යනු එක් අර්ථයකින් ව්‍යාජ හැඳුනුම්පතක්, ව්‍යාජ නාමයක්, ‘කාඞ්’ එකක් විය හැකිය. එනම්, එක් ආකාරයකින් රාජ්‍ය විරෝධී හෝ අරගලකාරී දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් තුළ පුද්ගලයෙකුගේ සැබෑ ලියාපදිංචි නාමය, එනම් රාජ්‍යය මගින් පිළිගත් නාමකරණයට අමතරව භාවිත වන නාමයක්ය. ඉන්පසුව එව වාක්‍ය තුළ ‘කඩියා’ සංවිධානගත ක‍්‍රියාකාරීත්වයක නිරත වන බව අපට හඳුනාගත හැකිය. එම සංවිධානය කුමක්ද? එය LTTE, JVP, IUSF හෝ UNP හෝ බොදුබල සේනා (BBS) නොවෙයි. එම සංවිධානය ‘නැන්දෙ කනෝ සේනාවයි’. ‘නැන්දෙ කනෝ’ යනු එක් ආකාරයකින් 'X' නැතිනම් 'Y' බඳුම සංකේතයකි. එයට නිශ්චිත අර්ථයක් නොමැත. මෙහිදී නිශ්චිත රටාවකට අනුව අර්ථ ගැන්වුනු නාමකරණයන් යොදා නොගැනීම මෙම නවකතාවේ පවත්නා විශේෂත්වයකි. එනම්, සමකාලීන දේශපාලනය තුළ ගැවසෙන වාග් සංඥා (Linguistic Signs) වෙනුවට හිතුවක්කාරී අන්දමින් (Arbitrary) නිර්මාණය වන සංඥා භාවිතා කරයි. චේ ගෙවාරා වැනි නමක් ප‍්‍රබල වාමාංශික හා නිදහස්කාමී දේශපාලන සංඥාවකි. වර්තමානයේදී එය වෙළඳපල තුළ විකිණෙයි. ආදරය, විප්ලවය ආදිය තුළින් චේ ගෙවාරා අද සංඥාවක් වශයෙන් ලිංගිකකරණය වී ඇත. නමුත් ‘කඩියා’ වැනි සේනා සංවිධායකයෙක්ගෙන් හැඟවෙන සංඥාර්ථයන් මොනවාද? ‘නැන්දෙ කනෝ’ වාමාංශිකද? දක්‍ෂිණාංශිකද? ආගමිකද? ස්ත‍්‍රීවාදීද? මෙවැනි ආකාරයේ කිසිදු සංකේතනයක් අපට මෙහිදී පහසුවෙන් හඳුනාගත නොහැක. එබැවින් මෙම නවකතාව පුරාම දිවෙන මෙවැනි ආකාරයේ පුද්ගල නාම / ආයතන නාම / ස්ථාන නාම ආදී සංඥාවන් විසින් අපට මූලිකවම ගෙන එන අදහස වන්නේ සිදුවීම් පිළිබඳ හා එම සිදුවීම් සිදුකරන පුද්ගලයන් හා සිදුවන කාල-අවකාශීය රාමුව පිළිබඳ අපට ‘නිශ්චිත’ අර්ථයක් / සාරයක් පැවතිය යුතු නොවන බවයි. නමුත් එම සන්දර්භීය කාල-අවකාශ මානය තුළ නොවෙනස්ව ගමන් කරන ආර්ථික, දේශපාලන, පාරිභෝජනමය, තාක්‍ෂණික, වාණිජ අවකාශයක්, උපරිව්‍යුහයක් හා අධෝව්‍යුහයක් පවතී. එම උපරිව්‍යුහමය හා අධෝ්‍යුහමය තත්වයන් තුළ විජේවීර / ප‍්‍රභාකරන් / කඩියා / චේ ගෙවාරා ආදී සියලූ වීරයන්ගේ වටිනාකම තීරණය වෙයි. මෙහිදී වාග් සංඥාකරණයන් පිළිබඳ අධිනිශ්චය වූ අර්ථයන් ලබානොදීමට උත්සාහ කිරීම ම මෙම නවකතාවේ කේන්ද්‍රීය ගැටළුව සාකච්ඡුාවට ඉවහල් වෙයි. එම නිසාම මෙම පඨිතය වඩාත් නිදහස්කාමී හා ප‍්‍රජාතාන්ත‍්‍රික වෙයි. එය මනෝරාජික යථාර්ථය හා මහපොළොවේ ජීවිතය අතර පවතින විභේදනය වඩාත් තීව‍්‍ර කරමින් ගෙනහැර දක්වයි. පවත්නා භාෂාමය නීතීන්ගෙන් ඔබ්බට ගමන් කරමින් භාෂාව යනු සංකේත පද්ධතියක් මිස මිනිසා යනු භාෂාව තුළින් සාරය ලබන වස්තුවක් බවට, එනම් භාෂාව තුළම වන්නා වූ සාරයක් නොපවතින බවට මෙම නවකතාව ප‍්‍රබල සාක්‍ෂියක් සපයයි.
මානව නියෝජිතත්වය (Human Agencey) අභිබවනය කෙරෙමින් බලපවත්නා ව්‍යුහාත්මක යථාර්තය (Structural Reality or Possibility of its Existence) නැතිනම් එවැනි යථාර්ථයක් පැවතිය හැකි බවේ ශක්‍යතාවය මෙම නවකතාව තුළින් විෂද කෙරෙයි. සරලව දැක්වුවහොත් භාෂාව පවත්නා අතරතුරදීම භාෂාවට වඩා ප‍්‍රබල වන්නේ සමාජ-දේශපාලන, තාක්‍ෂණික, වාණිජ අවකාශය බව අපට පසක් වෙයි. පහත උදාහරණය දෙසට යොමු වන්න.
”එනමුදු පහල නගරයේ වූ උස්-නූස් ගොඩනැගිලි, දසදෙස විහිදුනු මං මාවත්, ඒවායේ එහෙ මෙහෙ දුවන නොයෙක් මෝටර් රථ, යෝධ නිශ්චල-චංචල ඩිජිටල් පුවරු පෘෂ්ඨ, වෛවර්ණ ආලෝක කදම්භ, කුරා කුහුඹුන් වූ නගරවාසීන්...”
මෙම විස්තර කිරීම තුළ ‘නාගරික-වාණිජ-තාක්‍ෂණික’ පද්ධතියක නැතිනම් වත්මන් ධනවාදී සූරාකෑම පද්ධතිය තුළ (Mode of Exploitation) පවත්නා වඩාත්ම නොවැදගත්ම තත්වය වශයෙන් මිනිස් ජීවිතය හඳුන්වා දී තිබෙයි. ‘කුරා කුහුඹුන්’ වැනි මිනිසුන් අතිශය ප‍්‍රබල උපමාවක් වන අතර මෙම සමස්ත නවකතාවම විශාල ඩිජිටල් පුවරු යට එම එළියෙන් රැය පහන් කරන මිනිසුන් පිළිබඳ කතාන්දරයක් වීම බොහෝ විට මෙම නවකතාව සම්මාන උළෙලවල් සඳහා ප‍්‍රබල විචාරකයන්ගේ අවධානයෙන් ගිලිහීමට ද හේතුවක් විය හැක.
මෙම නවකතාවේ දේශපාලනික සිතීම පිළිබඳව පහත උදාහරණය වඩාත් ප‍්‍රබල එකකි.”...කිරිබත් කහට, දැලි, දූවිලි තැවරුණ කලූ-සුදු අතැඟලි දැන්වීම් රැුසක් ප‍්‍රදර්ශනයව ඇත කසළ බැරලය අවට මෙන්ම නගරයේ තැන තැන. එක් වැකියකි මුළුමනින් ගැවසී ඇත්තේ ඒ දැන්වීම් සියල්ලේ. ‘මිනීමරු ප‍්‍රභාකරන්ගේ මළ සිරුරට බල්ලන්ගේ සරණයි’...”
මේ දකුණේ මිනිස් සමාජය එහි හෘදය සාක්‍ෂිය අවසන් වරට සදහටම මිහිදන් කළ අවස්ථාවයි. ප‍්‍රභාකරන්ගේ මරණය දකුණේ ජාතිවාදී ප‍්‍රමෝදයේ උච්චතම අවස්ථාව සලකුණු කරයි. එම තත්වය තුළ පංතිභේදයකින් තොරව ජාතිවාදය එක්සත් වූ මොහොතක් හඳුනාගත හැක. පීඩිත ජාතිවාදය හා ධනපති ජාතිවාදය සුරාන්තයට පත් වූ එම මොහොත මෙතරම් විශිෂ්ට ආකාරයකින් ප‍්‍රකාශ වීමට ඉඩ සලසන වෙනත් කතුවරයෙක්/කථකයෙක් හෝ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාහිත්‍යකාමියෙක් අප වෙත සිටීද?
කුණු බැරල් තුළ ජීවිතය සොයන ජාතිවාදීන් හා ඉහළ පංතික මොන්ටෙරෝ ජාතිකවාදීන් ද එකම විටෙක එකම වීදියක කිරිබත් කෑ එම උත්කර්ෂවත් මොහොත යම්කිසි සිනමා පටයක (තණ්හා රතී රඟා) නිරූපණය වී පැවති බවට මතකයක් පැවතිය ද, නවකතාමය සාහිත්‍යාංගය තුළ එය අභීත ලෙස මෙම කතුවරයා විසින් නිරූපණය කොට තිබේ.
එම ඊනියා යුද ජයග‍්‍රහණයේ මොහොත නිරූපණයේදී භාෂාත්මක ඉන්ද්‍රජාලික අවකාශයක් වෙත කතුවරයා අප ගෙන යයි. නමුත් එය කිසිම විටෙක නිශ්චිත දේශපාලන ව්‍යාපෘතියක් තුළට එනම්, ඊනියා සාමය ගොඩනැගීමේ ව්‍යාපෘතියකට අපව නතුකර ගැනීමේ අදහසින් නොවන බව ඉතා පැහැදිලිය. ඒ වෙනුවට නාගරික, පාරිභෝජන අවකාශයේ පවතින පංතිභේදය, අනවරත පාරිභෝගික-ලිංගිකමය ආශාවන් හා එම තත්වයන්ගේ පංතිමය විභේදනය, ප‍්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම්, මනෝභ‍්‍රාන්තීන් සියල්ලක්ම ඉතා විශිෂ්ට අන්දමින් සංකේතනය කරන භාෂාවක් හා සන්දර්භයක් පමණක් කතුවරයා විසින් සලකුණු කරයි. පහත උපුටනය දෙස අවධානය යොමු කරමු මෙම තත්වය වඩාත් හොඳින් පහදා ගැනීමට.
”...ඊට ආසන්න පුවරුවක Calvin Klein කෙටි කලිසමකින් හුන් ආඩම්බරකාරී තරුණයාගේ උනන්දුව කලිසමේ වර්ගඵලය නොතකා එතුළින් නෙරා ඒමට ප‍්‍රයත්න දරන ස්වකීය සිරුරේ අවයවය කෙරෙහිය...”
”...නමුදු තොරතෝංචියක් නැතිව රුධිරය වහනය වන සිරුරේ වේදනාව නොතකා සේනාවේ නායකයා සිය ජංගම සංචාරක යන්ත‍්‍රය කරපින්නා නගරය දිගේ ඉදිරියට ඇදෙන්නේ කලූ-සුදු අතැඟලි දැන්වීම් මෙන්ම නේකාකාර වෛවර්ණ නිශ්චත-චංචල පුවරු පෘෂ්ඨ ද පසු කරමිනි...”
‘හිරුත් එක්ක හෙලූවැල්ලෙන්’ යනු සමකාලීන පාදඩ සමාජ යථාර්ථය පිළිබඳ ගැඹුරු කියවීමකි. එය ධනවාදී ආර්ථිකමය හා ලිංගිකමය සංඥා බහුල ලෝකයක් තුළ නාගරික අවකාශයක වෙසෙන මිනිස් සමූහයකගේ ජීවන ලාලසාවන් පිළිබඳ ඉතා කටුක යථාර්ථයක් ප‍්‍රබල වියමනක් තුළින් ඉදිරිපත් කිරීමකි.
මෙම නවකතාව එහි එන කේන්ද්‍රීය චරිතයන් හා ‘සූර්යයා’ ආදී අපුද්ගල රූපකයන් වටා ගෙතෙන විටෙක අතිශය ජුගුප්සාජනක පසුබිමක දිග හැරෙන, නිරන්තරයෙන් ලිංගිකමය මාත්සර්යයෙන් පීඩිතව පසුවන මිනිසුන් සමූහයකගේ දෛනික ජීවිත අරගලය පිළිබඳ කතාවකි. ‘මල් ගෙදර’ ආතල් ගැනීම, විෂම ලිංගික සම්බන්ධතා වලදී වඩාත් ප‍්‍රහර්ෂයෙන් ඒ දෙස බැලීම, නැරඹුකාමීත්වය හා සියලූම ආකාරයේ පාතාලමය ආර්ථික කටයුතු වල නිරත වීම ඉතා කදිමට විවරණය වී ඇත. එසේම මෙම නිර්ප‍්‍රභූ නාගරික, පාතාලමය නැතහොත් ලූම්පන් ජන සමූහය තුළින් ගෙනෙන කතාව තුළ නිරන්තරයෙන්ම ඔවුන් හා ගැටෙන ‘කාකි හමුදාව’ ප‍්‍රබල රූපකයක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එමගින් ඊනියා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය හා පීඩිත පංතිය අතර පැවතිය හැකි එකම ආකාරයේ සම්බන්ධතාව එනම් ‘මර්ධනය’ වඩාත් සාර්ථක ආකාරයෙන් නිරූපණය වී තිබේ.
සමස්තයක් ලෙස මෙම පඨිතය තුළ දිවෙන කතාව වශයෙන් අපට ගිනිය හැක්කේ නිර්ප‍්‍රභූ නාගරික, ලූම්පන් මිනිස් සමූහයක් විසින් අත්දුටු ග‍්‍රාම්ස්චියානු අර්ථයෙන් Lived Culture සංස්කෘතියකි; නැතිනම් යථාර්ථයකි. හෙජමොනික නොවන සියලූ පැවතීම් අභාවයට යන ධනවාදී පාරිභෝජන අවකාශය තුළ නිරන්තරයෙන්ම ප‍්‍රවර්ධනයට පත්වන හෙජමොනික විරෝධී සංස්කෘතික ධාරාවක් පිළිබඳ සමාජ විද්‍යාත්මක හා දේශපාලනමය කියවීමකින් යුක්තව සිදුකළ ප‍්‍රබල විසංයෝජනීය රචනාවක් ලෙස මෙම නවකතාව අවසන් වශයෙන් හඳුන්වා දිය හැකිය.
තවද, සමස්ත යථාර්ථවාදී නවකතා රාමුව පිළිබඳ සුසමාදර්ශය පුපුරවා හැරීම අතින් ද මෙම නවකතාව වඩාත්ම ඉදිරිගාමී වෙයි. එසේම මෙහි විප්ලවීය ගුණය පවතින්නේ සමස්තයක් වශයෙන් කිසියම් සුවිශේෂී තත්වයක් තුළ පැවති යථාර්ථයක් ඉතා ප‍්‍රබල ව්‍යුහාත්මක අධ්‍යයනයක් තුළින් ගෙන ඒම තුළ ඌනිතවාදී ලෙස සමාජ යථාර්ථයන් අධ්‍යයනය කිරීමට එමඟින් දක්වන විරෝධයයි. තර්කොවිස්කියානු (Andrei Tarkovsky) ශෛලයකින් සමාජ යථාර්ථය සිනමාත්මකව ගවේෂණය කරන මෙම නවකතාව සමකාලීන සමස්ත සමාජ දේහය පිළිබඳව ප‍්‍රබල කියවීමකට යොදාගත හැකි පඨිතයකි.
- ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්
COMMENTS