මහින්ද රාජපක්ෂ යනු දක්ෂ සංවිධායකවරයෙකි. එසේම ඔහු ප්‍රබල මහජන සම්බන්ධතා ඇති දේශපාලකයෙකි. දැඩි ජනතා ආකර්ශනයක් සහිත නායකයෙකි. එසේ නොවුණේ ...
මහින්ද රාජපක්ෂ යනු දක්ෂ සංවිධායකවරයෙකි. එසේම ඔහු ප්‍රබල මහජන සම්බන්ධතා ඇති දේශපාලකයෙකි. දැඩි ජනතා ආකර්ශනයක් සහිත නායකයෙකි. එසේ නොවුණේ නම් ඔහුට රටේ විධායක ජනාධිපතිවරයා වීමට හෝ දශකයකට ආසන්න කාලයක් රට පාලනය කිරීමට හැකි වන්නේ නැත. එහෙත් ඔහු අද දවසේ දේශපාලනයෙහි රැඳී සිටින්නේ කෙසේද ? ඔහු අද දවසේ දේශපාලනය කරන්නේ විහිළුකාරයින්, හොරුන් සහ ඩීල් කාරයින් රෑනක් පිරිවරාගෙන ය. තමන්ට එරෙහි නඩු යට ගසා ගැනීමට ආණ්ඩුවෙන් 'දෙනු - ගනු' අවස්ථාවක් හිමිවන්නේ නම් ඔවුන් බලා ඉන්නේ ආණ්ඩුවට පැන ගැනීමටය. එවන් ජෝකර්ලා රෑනක් පිරිවරාගත් විට අවසානයේ සිදුවන්නේ ජනතා ආකර්ශනය විකර්ශනයක් බවට පත් වීමය.
දේශපාලනිකව සලකා බලන විට රටකට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම සඳහා ප්‍රබල විපක්ෂයක් අත්‍යාවශ්‍යය. එහෙත් අද දවසේ ශ්‍රී ලංකාවෙහි එවැනි විපක්ෂයක් නැත. නාමික විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සමස්ථ රටේ විපක්ෂය ලෙස ක්‍රියාකාරී වන්නේ නැත. ඔවුන්ගේ දේශපාලනය කේන්ද්‍රගතව පවතින්නේ ප්‍රාදේශීයවාදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බව ඉතිහාසය පුරාවටම ඔවුන් ඔප්පු කර තිබේ. රටක ප්‍රධාන විපක්ෂය එක් එක් විෂය පථයන් පිළිබඳව මනා අධ්‍යනයකින් යුත් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 'සෙවනැලි කැබිනෙට්ටුවක්' මෙන් ක්‍රියා කළ යුතුය. යම් හෙයකින් ආණ්ඩුව ඇද වැටුණේ නම් ඊළඟ මොහොතේ රට භාර ගැනීමට ශක්‍යතාවයක් ඔවුන්ට තිබිය යුතුය. එහෙත් අපේ රටේ එවැන්නක් පිළිබඳව සිතන්නට හෝ නොහැක.
අපේ රටේ දේශපාලනයේදී 'විපක්ෂය' යනුවෙන් අදහස් කෙරෙන්නේ එක්කෝ සියල්ලට ම විරුද්ධ වන පිරිසක් ය. එක්කෝ මුදලට ගත හැකි පාරිභෝගික භාණ්ඩ වැනි කොටසක් ය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වැරදුණේ කෙසේද ? ඔහු නම් සිතා සිටිනවා ඇත්තේ එය නවග්‍රහයින්ගේ හෝ තාරකා මණ්ඩල වල ප්‍රශ්නයකැයි කියා වන්නට පුළුවන. එහෙත් ප්‍රශ්නය තිබුණේ රාහුගේ, කේතුගේ හෝ සෙනසුරුගේ නොවේ. ප්‍රශ්නය වූයේ ඔහුට ප්‍රබල විපක්ෂයක් නොතිබීමෙහි ය. වඩාත් සාධාරණව කියන්නේ නම් ඔහු විසින් විපක්ෂය විනාශ කිරීමෙහි ය. මහින්ද රාජපක්ෂ කළේ නොයෙකුත් ඩීල් හරහා විපක්ෂය තම සාක්කුවේ දමා ගැනීමය. එවිට රටේ විපක්ෂයක් නොමැති ගාණට තත්වය සකස් විය. ඉන් ඉදිරියට මහින්ද සිය ගමන ගියේ තමන් කරන හැම දේම හරියැයි විස්වාස කරගෙන ය. ඔහුගේ වරද ඔහුට අවධාරණය කර පෙන්විය හැකි විපක්ෂ බලයක් රටේ තිබුණේ නැත. මහින්දගේ ගමන කෙළවර වුණේ ඔහු නොදැන ම ඇන ගැනීමෙන් ය.
කලාපීය දේශපාලනය දෙස බලන විට අද ඉන්දියාවෙහි ද එවන් ප්‍රබල විපක්ෂයක් පෙනෙන්නට නැත. රාහුල් ගාන්ධි යනු දුර්වල නායකයෙකි. පාකිස්ථානයෙහි විපක්ෂයේ කාර්යභාරය කරන ආයතනය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත්ව ඇත. මේවා ප්‍රජාතන්ත්‍රවාදයට නම් කොහෙත්ම සුබ ලකුණු නොවේ.
අප කැමති වුවත් අකමැති වුවත් රටේ විපක්ෂයෙහි භූමිකාවට පණ පෙවීමට අද ඉන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගය ය. තිත්ත වුවත් ඇත්ත එයය. එහෙයින් මේ මොහොතේ මහින්ද රාජපක්ෂ විසින් කළ යුතුව ඇත්තේ තමන් වටකරගෙන සිටින හොරුන්ට, විහිළුකාරයින්ට නිවාඩු දී නියම විපක්ෂ බලවේගයක් ගොඩනැඟීමය. මහින්ද රාජපක්ෂ වටා සිටින ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක වැනි චරිත කිසිදා හොරුන් හෝ ජාතිවාදීන් ලෙසින් රටේ හංවඩු ගැසුණු චරිත නොවේ. එහෙත් දැනට මහින්දගේ අසළින් ම සිටින බව රටට පෙන්වමින් සිටින්නේ හොරුන් සහ අමු ජාතිවාදීන් ය. ඒ අවස්ථාවාදී නඩයෙන් ගැලවීමෙන් තොරව නම් මහින්දට සැබෑ විපක්ෂයක් ගොඩ නැංවීම අසීරුය.
එසේම, මහින්ද වටා රොක්වන දක්ෂ වෘත්තිකයින් පිරිසක් ද දැකිය හැක. විශේෂයෙන් අනුලා විජේසුන්දර වැනි මෙම වෘත්තිකයින්ගේ සහාය ද විපක්ෂයක් සඳහා ඉතා වැදගත්ය. වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් වැනි මහින්ද වටා රැස්වන වෘත්තිකයින්ට 'දේශප්‍රේමීයත්වය යනු ජාතිවාදී වීම නොවේ' යන දෘෂ්ටිමය නායකත්වය දීමට මහින්ද අපොහොසත් වූවද ඔවුන්ව අමු ජාතිවාදීන්ට යටත් වීමට ඉඩ නොහැරීමට මහින්ද උත්සුක විය යුතුය.
මහින්ද වටා සිටින අතලොස්සක් ජාතිවාදී උම්මත්තකයින් හැර අන් කිසිවකුත් ශ්‍රී ලංකාවෙහි 'තනි සිංහල දේශපාලනයක්' ගෙන ගිය හැකි බවක් විස්වාස කරන්නේ නැත. ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික රටකි. එය පිළිනොගෙන යාහැකි දේශපාලන ගමනක් නැත. මහින්දට තවත් ඒ ගැන සංකා පවතින්නේ නම් තමන්ගේ අන්තිම ජනාධිපතිවරණ ප්‍රතිඵලය මතකයට නඟා ගත හැකිය.
එහෙයින් මහින්ද දැන් කළ යුතුව ඇත්තේ රටට දැනෙන, ශක්තිමත් විපක්ෂ බලවේගයක් ගොඩනැඟීම ආරම්භ කිරීමය. එය පෙනෙන තරම් පහසු නොවන අතර සිතෙන තරම් අපහසු ද නොවනු ඇත. එහෙත් එය නිවැරදිව කරන්නේ නම්, ඔහුගේ පුද්ගලික දේශපාලන ඉලක්ක වලට පමණක් නොව සමස්ත රටේ අනාගතයට ද හිතකර වනු ඇත.
එමෙන්ම, මේ සමස්ත කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාට ද අදාලය. ඔවුන් ද සිතා සිටින්නේ වරක් මහින්ද කළාක් මෙන් විපක්ෂය සාක්කුවේ දමාගෙන දේශපාලන ගමන යාමට නම් එය ඉතා කෙටි එකක් වනු ඇති බව මහින්දගේ අත්දැකීම හරහා ඔවුන් උගත යුතුව ඇත.
COMMENTS