මියන්මාරයේ රොහින්ගියා පළාතේ සිට මෙරටට සරණාගතයන් ලෙස පැමිණ සිටි කාන්තාවන් හා අතදරුවන් ඇතුළු සුළු පිරිසකට එරෙහිව ගල්කිස්සේදී රඟ දැක්වුණු අප...
මියන්මාරයේ රොහින්ගියා පළාතේ සිට මෙරටට සරණාගතයන් ලෙස පැමිණ සිටි කාන්තාවන් හා අතදරුවන් ඇතුළු සුළු පිරිසකට එරෙහිව ගල්කිස්සේදී රඟ දැක්වුණු අප්‍රසන්න නාටකය වසර ගණනාවක් තිස්සේ ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පවත්වාගෙන ආ හොඳ නම ක්ෂණයකින් වෙනස් කිරීමට තරම් ප්‍රබල විය. ගල්කිස්සේ නාටකයේ පිටපත කවුරුන් විසින් ලියන ලද්දක් දැයි පිටතට නොපැමිණිමුත් එය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අක්මීමන දයාරතන නමැති කලක් ජාතික හෙළ උරුමය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භික්ෂුවය.
රෝහින්ගියා සිට සරණාගතයන් ලෙස මෙරටට පැමිණ සිටි එම පිරිස මෙරට තාවකාලිකව රඳවා තබා තිබුණේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ තාවකාලික භාරකාරත්වය යටතේය. සියවස් ගණනාවක් මියන්මාරය තුළ වාසය කළ රෝහින්ගියා මුස්ලිම්වරුන්ට අද අත්ව ඇති ඉරණම සැබැවින්ම කනගාටුදායකය. රොහින්ගියා මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනිමින් විශාල සංහාරයක් එහි සිදු කරමින් සිටිනමුත් මියන්මාරයේ අසල්වැසි බංග්ලාදේශය ඇතුළු රටවලට දිනකට විසිදහස බැගින් පලා යමින් සිටිනුයේ “අර්කාන්රොහින්ගියා ගලවා ගැනීමේ හමුදාවේ” ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් නොවේ. දේශ සීමා, ජාති කුල-මල ආගම් භේදයෙන් තොරව සන්නද්ධමය ක්‍රියාකාරිත්වයන් ජනිත කරනුයේ විනාශය මිස වෙනකක් නොවේ. ඇඳිවත පමණක් රැගෙන සියලු සේසත අහිමි කර ගනිමින් බංග්ලාදේශය ඇතුළු තදාසන්න රටවලට පලා යමින් සිටිනුයේ ඊට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන්ය.
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් ගල්කිස්සේදී කලබල වී තිබුණේ රොහින්ගියාවරු මුස්ලිම්වරුන් වීම හා මේ සිදුවීම මුල් කරගනිමින් වත්මන් රජයට පටු ජාතිවාදී මුහුණුවරකින් යුතුව ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රචාරාත්මක හා දේශපාලන තලයේ වාසියක් ලබා ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. නමුත් රොහින්ගියා සරණාගතයන් මෙරටට පැමිණීම ඇරැඹුණේ මීට වසර නවයකට ඉහතදී බව අනාවරණය වීමත් සමඟ ඔවුන්ගේ එම කුරුමානම වැරැදී ගියේය. ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ අවසංවර්ධිත රටක් වුවද දේශපාලන රැකවරණ පතා මෙරටට ද අසල්වැසි රටවලින් සරණාගතයෝ පැමිණෙති. පාකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට පත් ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද සරණාගතයන් ලෙස මීගමුව ඇතුළු වයඹ වෙරළ තීරයේ ජීවත් වන බව ප්‍රකට කාරණයකි. මෙරටට පැමිණීමෙන් පසු දේශපාලන රැකවරණ ලබනමුත් ඔවුනට රැකියාවක් කිරීමට නීතියේ අවසර නොලැබේ. දේශපාලන රැකවරණ පනත මෙරටින් යුරෝපයට සංක්‍රමණය වන්නන් හා මෙරටට සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නන් අතර පැහැදිලි වෙනසක් එහිදී දැකගත හැකිය.
බොදු බළ සේනාව රාවණා බලය ඇතුළු සෑම සංවිධානයක්ම නූතනත්වයට එරෙහිව ගෝත්‍රිකවාදී මානසිකත්වයෙන් හැසිරෙන මුත් හාස්‍යයකට මෙන් ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ නූතනවාදී මෙවලම් මතය. බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ ව්‍යුත්පන්නව සමාජයෙන් ඈත්ව කටයුතු කරන ඔවුනට ජනමාධ්‍යයෙන් තොර පැවැත්මක් නොමැත. එබැවින් සිය පැවැත්ම වෙනුවෙන් තමන් නොදැවී සිටින බව පෙන්වීමට සති දෙක තුනකට වතාවක් මෙබඳු සංදර්ශන පැවැත්වීමට ඔවුහු පුරුදුව සිටිති. එවැනි සූදානමක මාධ්‍ය විසින් මයික්‍රෆෝන මේ අයට ඇල්ලීමෙන් ද කරනුයේ විශාල වරදක්මය. ඒ මොවුනගේ හැසිරීම මූලික බෞද්ධ ප්‍රතිපත්තීන් හා කිසිසේත්ම නොගැළපෙන බැවිනි.
බෞද්ධාගමේ අත්තිවාරම ලෙස සැලකෙනුයේ පරාර්ථ සේවාවයි. සැබෑ බෞද්ධයෙකු හට තමන්ගේ නිවන් සැපය පවා අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තියක් තිබිය යුතුය. අතීතයේදී ගිහියනට දානය, පරිත්‍යාගය හුරු කරවනු ලැබුවේ බෞද්ධ භික්ෂුව විසිනි. තම නිවෙසට පැමිණෙන කෙනෙකුට ආහාර වේලක්, තේ කෝප්පයක් පිරිනැමීම හුරු කළේ එම ආභාසයයි. බුදුදහම අවධාරණය කළ එම මාහැඟි ආදර්ශය ගල්කිස්සේදී බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින්ම නොසලකා හැරීම කනගාටුවකටත් වඩා ලජ්ජාවට කාරණයකි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාවේදී මාධ්‍ය අමතමින් දලයි ලාමා තුමා මියන්මාරයෙන් ඉල්ලා සිටියේ බුදුන් දෙසූ මඟ අනුව ගමන් කරන ලෙස වුවත් ගල්කිස්සේ සිදුවීමට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේ එහිදී හැසිරුණු ආකාරය අපට සිහි ගැන්වූයේ ‘බජාර් එකේ චණ්ඩියාගේ’ රංගනයයි. භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චර්යා රටා අතිශය සංවර හා සංවර්ධිත බවකින් යුක්ත විය යුතු අතර ආහාරපාන ගැනීම, ඇඳීම, පෙරවීම, ගමන-බිමන, කතාබහ ඇතුළු සියලු කටයුතුවලදී මහා සංවර භාවයකින් හා සිහියෙන් යුතුව එය සිදු විය යුතු බව බුදු රජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වා දී ඇත.
එම ශාසන සම්ප්‍රදායට මුළුමනින්ම එරෙහිව යෑමක් ගල්කිස්සේ කලහකාරී ලෙස හැසිරුණු භික්ෂූන් වහන්සේ වෙතින් පිටතට පෙනෙන්නට තිබිණි. ඒ ඇතැමු භික්ෂුන් වහන්සේට තිබුණු ගැටලුව වූයේ රොහින්ගියාවරුන්ගේ දරුවන් මෙරට පාසල්වලට යෑමය. එය මහා විකාර සහගත තර්කයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් මෙතරම් පසුගාමී වී ඇත්තේ මෙබඳු තකතීරු සිතුවිලි නිසාය. ළමයකු අධ්‍යාපනය හැදෑරීමට සුදුසු මට්ටමක සිටිනවා නම් ඒ සඳහා අයිතියක් හා හැකියාවක් ඔහුට හිමි විය යුතුය. ඉංග්‍රීසින් මෙරට පාලනය කරන සමයේ මුල් ගුරුවරුන් ගෙවල්වලට යමින් දරුවන් පාසල් කරා ඇදගෙන ඒම පිළිබඳ කතා අප එමට අසා ඇත.
සහතිකවම රොහින්ගියාවරුන්ගේ කුඩා දරුවන් තමන්ගේ මහ එවුන්ගේ ගැටලුවලට වගකිව යුතු නැත. හයහතර නොතේරෙන ඔවුහු ත්‍රස්තවාදීහු නොවෙති. කොතැනක සිටියත් දරුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හිමි විය යුතුය. සැබෑ මනුෂ්‍යත්වය යනු එයයි. රොහින්ගියා සරණාගතයන්ට එරෙහිව චණ්ඩි පාට් දමන මේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිටුපස සිටිමින් බොහෝ විට ඔවුන්ට ශක්තිය සපයන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත රැඳී සිටින විදෙස්ගත ප්‍රජාවන්ය. විදේශයන්හිදී දෙවැනි පන්තියේ පුරවැසියන් වී ඇති එම කණ්ඩායම එහි වාඩුව ගැනීමට තම “මුල” රැකගැනීම වෙනුවෙන් නිර්ලෝභිව වියපැහැදම් කිරීමට සූදානම්ව සිටිති. රාවණා බලය බොදු බළ සේනාව වැනි සංවිධාන එම සිතැඟියාවලට ගැළපෙන සේ කටයුතු කරමින් එම “කොන්ත්‍රාත්තුව” මනාව ඉටුකරමින් සිටිති.
සමස්තයක් ලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දියුණුව අඩාළ කරමින් එය අවලක්ෂණ කළ ප්‍රධානතම කාරණයක් වූයේ අන්‍ය මත නොඉවසන අන්තවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරිත්වයය. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සෑම සමාජයක්ම තුළම එම අන්තවාදය දැකගත හැකි විය. මෙම අන්තවාදයට මුහුණ දීම වෙනුවට බොහෝ විට ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් හුරුව සිටියේ එය අබිමුව පිටකොඳු බිඳ ගත් නිවටයන් සේ හැසිරීමටය. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ විට අනුගමනය කළේ නිද්‍රාශීලි ප්‍රතිපත්තියකි. ගල්කිස්සේ දී මෙම අපකීර්තිමත් සිදුවීම පවා සිදු වූයේ පොලීසිය බලා සිටියදීය. එලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් නිදැල්ලේ හැසිරෙන භික්ෂුන්ට එරෙහිව නීතිය වෙනම හැන්දකින් ක්‍රියාත්මක වීම පැහැදිලිවම ගැටලුවක් වනවා සේම එය රජයේ කීර්තිනාමයට ද බලවත් කැළලකි.
චාමර ලක්ෂාන් කුමාර
COMMENTS