ඊයේ (03) දින නඩුව කැඳවුණු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ සාක්ෂි විභාග කරනු ලැබිණි. මෙහිදී 06 වන ව...
ඊයේ (03) දින නඩුව කැඳවුණු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ සාක්ෂි විභාග කරනු ලැබිණි. මෙහිදී 06 වන විත්තිකරුගේ නිවසෙහි තිබී ඝාතනයට ලක් වූ දැරියගේ උපැස් යුවල සොයා ගැනීමට හැකි වූ බවත් එම උපැස් යුවල පරණ කලිසමක ඔතා සඟවා තිබුණු බවත් පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේය. එසේම අපරාධයෙහි 04 වන විත්තිකරු සහ 09 වන විත්තිකරු රජයේ සාක්ෂිකරුවන් කරන ලෙස ඉස්තාෆ් නමැත්තෙකු දුරකථනයෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට උත්සාහගත් බවත් ඔහු වැඩි දුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේය.
මේ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටින ජ්‍යේෂ්ට නීතීඥ මහින්ද ජයවර්ධන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර අවසානයේ " ඔබ ඉතා නිර්මාණශීලී ප්‍රබන්ධකරුවෙක්. මම යෝජනා කරනවා ඔබේ මේ සමස්ථ සාක්ෂිය ම ප්‍රබන්ධයක් කියලා" යනුවෙන් ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ " ස්වාමිනී, මම එහෙම දක්ෂ ප්‍රබන්ධකරුවෙක් නෙවෙයි. එහෙම හැකියාවක් මට තිබුණා නම් මේ අඩු පඩියට පොලිසියේ වැඩ කරන්නෙ නෑ, මමත් ටෙලිනාට්‍යයක්, චිත්‍රපටි පිටපතක් ලියලා ගාණක් හොයාගන්නවා" ලෙසය. මෙහිදී විනිසුරු මඬුල්ලේ සභාපති බාලේන්ද්‍රන් ශශී මහේන්ද්‍රන් මහතා මහින්ද ජයවර්ධන නීතීඥවරයා දෙසට හැරී "ඇතිද අහගත්තා ?" යනුවෙන් විමසා තිබිණි.
2015 මැයි මස 13 වන වන දින සිවලෝගනාදන් විද්‍යා දැරිය පාසැල් යමින් සිටියදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කොට කුරිරු ලෙස වධහිංසාවට පමුණුවා ඝාතනය කර තිබිණි. මෙම අපරාධයෙහි විත්තිකරුවන් ලෙස පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහලිංගම් ශශීදරන්, තිලේනාදන් චන්ද්‍රහසන්, සිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කූගදාසන්, ජෙයදරන් කෝකිලන් සහ මහලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නම් කර තිබේ.
මෙම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශශී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිගම් පරමශංකර් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි විභාග කෙරේ.
COMMENTS