නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කරන පුද්ගලයින් අඥානයින් බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. ඒ, මහබැං...
නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කරන පුද්ගලයින් අඥානයින් බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
ඒ, මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
බැඳුම්කර විමර්ශන සම්බන්ධයෙන් වන අද දිනට නියමිත සාක්ෂි විමසීම අවසන්වීමෙන් පසුව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එම ප්‍රකාශය සිදුකළේය.
ඔහු එහිදී කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් දත්ත පී.ඩී.එෆ්. ලේඛනයකට පරිවර්තනය කළ බවයි.
එමගින් ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය ඕනෑම වචනයක් පහසුවෙන් සොයා ගත හැකි බව ද ඔහු සදහන් කළේය.
එම ක්‍රමය උපයෝගී කර ගනිමින් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් පිටු 25ක් පමණ විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වෙත භාර දුන් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
නමුත් මේ බව නොදන්නා අඥානයින් නීතිපති දෙපාර්තමේන්තුව පිටු 8600ක් පැය 48ක් තුළ විමර්ශනය කළේ කෙසේදැයි විමසමින් චෝදනා එල්ල කරන බව ඔහු සඳහන් කළේය.
ප්‍රකාශයට බාධා :
සිය වෘත්තිය අවංකව සිදුකිරීම හේතුවෙන් විවිධ පුද්ගලයින් නීතිපති දෙපාර්තමේන්තුවට විවිධ චෝදනා එල්ල කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා තිබේ.
මෙවන් ප්‍රකාශ කොමිසම තුළ දී සිදුකළ නොහැකි බව පවසමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුගේ ප්‍රකාශයට බාධා සිදුකර ඇත.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සදහන් කර ඇත්තේ තමන්ගේ කීර්ති නාමය සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන බවයි.
පදනම් විරහිත චෝදනා විවිධ පුද්ගලයින් විවිධ ස්ථානවල දී සිදුකළ ද තමන්ට අදහස් දැක්වීමට ඇත්තේ බැඳුම්කර කොමිසම පමණක් බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
බැඳුම්කර කොමිසමේදී සිමාව ඉක්මවා යමින් රවී කරුණානායක මහතාට අපහස කරමින් ඔහුට එරෙහිව ජනමතයක් ඇති කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කල බවත්, රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වීමට සිදුවුයේ එනිසා බවත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබිණ.
නීතිපතිගෙ ඉහළ නිලධාරීන් දෙදෙනකුට එජාපයෙන් බලපෑම්
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජයේ තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදී තිබේ. මොවුන් ප්‍රථම ලිපිය භාරදී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (10දා) යි.
ලිපිය භාරදී තිබෙන්නේ සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවේම ක්‍රියාකලාපය සහ අදාළ නිලධාරීන් දෙදෙනා කටයුතු කරන ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.
රවි කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ බොහෝ මැති ඇමැතිවරුන් විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම අදාළ ඉහළ නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් දැඩි විවේචනයට ලක් කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කළේ මන්ත්‍රිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී ඔවුන් පෙන්වා දුන් පරිදි පසුගිය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධ ගැටලුකාරී අවස්ථා සඳහන් කරමින් අදාළ ලිපිය යොමුකර ඇති අතර, අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඇත.
අග්‍රාමාත්‍යවරයා හමුවේ මන්ත්‍රි කණ්ඩායම සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ බැඳුම්කර කොමිසමේ රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලකට ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවයි.
COMMENTS