බැලූ බැල්මට උණ විකාරයෙන් පෙනෙන සිහිනයක් බඳු වූ Days Without End එහි ශෛලිය ඇතුලු බොහෝ දේවල් වලින් බැරීගේ The Secret Scripture නම් සම්මානනී...
බැලූ බැල්මට උණ විකාරයෙන් පෙනෙන සිහිනයක් බඳු වූ Days Without End එහි ශෛලිය ඇතුලු බොහෝ දේවල් වලින් බැරීගේ The Secret Scripture නම් සම්මානනීය නවකතාවට සමානය. මෙයින් ගෙනහැර දැක්වෙන්නේ සිය ජීවිතය යලි ගොඩනැංවීම උදෙසා අත්ලාන්තික් සාගර තරණය කොට නව දේශයක් කරා යන තෝමස් මැක්නල්ටි ගේ ප්‍රවෘත්තියයි. ස්ලිගා හි ඔහු අතහැර ආ කම්පනාත්මක ව්‍යාකූලත්වයන්- එනම් ඔහුගේ පවුල දුර්භික්ෂයෙන් මියයාම, ඔහුගේ රට එහි කියවෙන පරිදි "මේස් දැමූ දෙපතුල් වලින් සිට සාගතයෙන් පීඩා විඳි අතර ඇයට මේස් තිබුණේ නැත" වැනි දෑ ඔහුට, එවකට ස්වයංව ගොඩනැගෙමින් පවතින රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේදී මුහුණ පාන්නට වෙන භීෂණයන් හා සසඳද්දී බෙහෙවින් ඉහළය.
ඒ 1850 දශකය වන අතර තෝමස් මිසූරි වෙත පැමිණෙන්නේ ක්විබෙක් හරහා වන අතර එම ගමන නවකතාව තුළ විස්තර වන්නේ මඳ වශයෙනි. "අපිට ඇකිලෙන්නෙ නැතුව මිනීමැරුම් දකින්න පුළුවන් වුණේ අපි පටන් ගනිද්දි අපේ කියල නැතිවෙන්න කිසිම දෙයක් තිබුනෙ නැති හින්දා" යනුවෙන් සැකෙවින් විස්තර කෙරෙන ඔහු ඇතුළු තවත් එවැන්නන් සෙබළ ජීවිතය කෙරෙහි දක්වන සුරුකම පසුව තවත් දැඩිවන්නේ නව ලෝකය බලා ගිය අයිරිෂ් සගයෙකුගෙන්, ගමන අවසානයේ පීප්ප තුල සිර කරන ලද මළ මිනී පාවීමක් පිළිබඳ කතාවක් ඇසීමෙනි. "ඒකයි කිසිකෙනෙක් කතා කරන්නෙ නැත්තෙ" තෝමස් සිහිපත් කරන්නේ සිදුවූයේ කතා කිරීමට තරම් දෙයක් නොවේය යන හැඟීමෙනි. "ඒ අපි කිසිම වැදගැම්මකට නැති නොවටිනා මිනිස්සු කියල හිතපු නිසා. මම හිතන්නෙ ඒකයි හේතුව. ඒ හිතුවිල්ල ටික වෙලාවක් මොළේ ඇතුලේ දැවිල්ලක් ඇති කරනවා. ඒත් පෙණ විතරයි"
බැරී බොහෝ අවස්ථාවල නිර්මාණය කරන සංචාරයේ යෙදෙන, බහුරූපී චරිත මෙන්ම මෙහි තෝමස්ගේ චරිතයද විවිධ ස්වරූප ගනියි. ආරම්භයේදී ඔහු කාන්තා ඇඳුම් හැඳ, ස්ත්‍රී ඇසුරක් නොලැබ ලතවෙන පතල්කරුවන් සතුටු කිරීමට නර්තනයේ යෙදෙන ජෝන් කෝල් නම් කොළු ගැටයකු සමග එක්වෙයි. prairie fairy නමින් හැඳින්වෙන සමලිංගික ගොපල්ලන් දෙදෙනෙක් සිහි ගන්වන මේ සම්බන්ධය ඔවුන්ගේ යොවුන් වියේ එලිපත්තේදීම එනම් අවුරුදු 17දී අවසන් වෙන්නේ ඔවුන් දෙදෙනා ස්වෙච්ඡා සෙබළුන් ලෙස එක්සත් ජනපද හමුදාවට බැඳී කැලිෆෝනියාවට යන "ඔරෙගන් මඟ"ට සම්බන්ධවීමත් සමගය. "සති ගණනාවක් අසුන් පිට නැගලා ගිය අපි මට දැන් මතක නැති තැනකින් වමට හැරුණා. අපි හදවතින්ම දැනගෙන හිටියා අපේ රාජකාරිය ඉන්දියානුවන්ටය කියලා" තෝමස් සිහිපත් කරයි.
ඉන්පසුව දිගහැරෙන්නේ ඉන්දියානු ජනාවාසයක් වෙත එල්ල කෙරෙන ම්ලේච්ඡ කඩාපැනීමේ ප්‍රහාරයක් පිළිබඳ විස්තරයකි. මෙය බැරීටම ආවේණික වූ, දැඩි පැහැදිලි කිරීම් හා ලෝකෝත්තර බවෙහි සම්මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කෙරෙන විස්තරයක් වන අතර මහත් විනාශයක් සිදුවීම තුල ඇති ලෞකික සාමාන්‍යත්වය සංවේදනය කිරීමේ ඔහුගේ හැකියාව මනාව පිළිබිඹු කරන්නකි. The Secret Scripture නවකතාවේ වඩාත්ම පැහැදිලි විස්තරාත්මක අවස්ථාවක් සිහියට නගන, අනාථ දරු නිවාසයක් ගිනිගෙන දැවීම විස්තර කෙරෙන ඡේදයක, එයට ලක්වන්නන් තුල ඇතිවන සංක්‍රාන්තිමය බලපෑම සිත් කාවදින සුළු අන්දමින් මනාව ග්‍රහණය කරගෙන තිබේ. "තවත් ගිනි පුපුරු ඉගිලිලා ගියා. ඒක එහෙම පිටින්ම ලෝක විනාශයයි, මරණයයි පෙන්වන දර්ශනයක්. ඒ වෙලාවලදි මට කිසිදෙයක් හිතන්න බැරිවුණා. මගේ ඔළුවේ ලේ කඳුලක් නැතිව හිස් වෙලා ගියා වගේ ගාලගෝට්ටියෙන් තුෂ්ණීම්භූතවෙලා. අපි විතැන් වුණා. අපි ඒ මොහොතේ එතැන නැති අවතාර වගේ වුණා." පෙර කී නවකතාව මෙහිදී සිහියට නැගෙන්නේ ජීවිතාශාවෙන් පොදිකමින් සිටින සංකේත ලෙස මීයන්ගේ දසුනක් චිත්‍රණය කරමිනි. "සත්තු දුසිම් ගාණක් ජීවිත බේරාගන්න පීනමින් හිටියා".
ස්වදේශිකයන් සමග වූ, ක්‍රමයෙන් සංකීර්ණත්වය කරා යන අන්තර්ක්‍රියාකාරකම් සහිතව ඇමෙරිකානු සිවිල් යුද්ධය දක්වා යන කථා වින්‍යාසයක් සහිත වුවත් මෙහිදී බැරීගේ කාර්යය තියුණු අභ්‍යන්තරික විස්තරකිරීම් වලින් එහාට යන එකකි. එය තෝමස් හා ජෝන් ගේ සම්බන්ධතාවයේ විකාශනයද ග්‍රහණය කරගනියි. ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ඇති ලිංගික ආකර්ෂණය නවකතාවේ මුල් භාගයේදීම විස්තර කෙරෙන්නේ සරල තනි වාක්‍යයකිනි. "ඊට පස්සෙ අපි නිහඬවම හැමනිලා ඉන්පස්සෙ නිදා ගත්තා." මෙසේ ඇදී යන කථා වියමන පාඨකයා බලාපොරොත්තු නොවූවක් බවට පත් කරන්නේ එය කාලයත් සමග සිදුවන ලිංගික අනන්‍යතා වෙනස්වීම පිළිබඳ ගවේෂණයක් සහ අදාල කාලයට නොගැළපෙන බවක් පෙනෙන එහෙත් ඒ බව ඒත්තු නොයන, පවුල යන සංකල්පය පිළිබඳ නව අර්ථ දැක්වීමක් ඉදිරිපත් වීමෙනි.
තොමසිනා බවට පත්වන තෝමස් ගවුමක් හැඳ ජෝන් හා විවාහ වීම සාහිත්‍යමය කියැවීමක් පරීක්ෂාවට ලක්කරයි. ඔවුහු, තම පවුලෙන් උදුරාගනු ලැබූ වයිනොනා නම් ස්‍යු ඉන්දියානු දැරියකට මව්පියන් වීමද එලෙසම විශ්වසනීයත්වයට ගැනීම අසීරුය. එහෙත් මෙය බැරී ගේ මැක්නල්ටි කතා මාලාව පුරාවටම වූ පරිකල්පනාත්මක සංසිද්ධියකි. මෙය හරියටම ඔහු "රටකට එහි වැපිරූ මුල්ම අස්වැන්න නෙළාගැනීමට අවශ්‍ය මොහොතක රටම කුණු කසළ වලින් පිරී තිබීම හෝ දේශ සීමා ලෝභයෙන් පුද්ගලයන් විතැන් කරන ලද මහාද්වීපයක පැවැත්ම ඔබට විශ්වාස කළ හැකි නම් මෙය විශ්වාස කිරීමට බැරි ඇයි?" යනුවෙන් ප්‍රශ්න කරන්නාක් මෙනි.
අවිශ්වසනීයත්වය යටපත් කිරීම සඳහා වන උත්සාහයේ පීඩනය නවකතාව පුරාවටම දක්නට ලැබෙන අතර මෙය ඉතිහාසයට මුහුණදීම සඳහා බැරී තුල වන අධිෂ්ඨානය සමග උරෙනුර ගැටෙමින් සිටියි. මිසූරි දුර්ගයේ සැතපුම් ගණනාවක් දුරට ඔගාලා සූ ඉන්දියානුවන් පිරිසක් තෝමස් සමග පැමිණෙන්නේ විටෙක ඔවුන් භීතියට පත් කරමින් හා විටෙක තම සානුකම්පිත ආගන්තුක සත්කාරය තුලින් ඔවුන්ව කම්පනයට පත් කරමිනි. එහෙත් කෙටි කාල පරිච්ඡේදයකට සීමා වන සහජීවනය ස්ත්‍රී දූෂණ, ළමුන් පැහැර ගැනීම්, ඔවුන් මිය යන්නට හැරීම වැනි තවත් ලේ වැගිරීම් රැසකට මග පාදයි. සිවිල් යුද්ධය ආරම්භ වීමට පෙර අවුරුදු කිහිපයක කාලය තුල ඇමෙරිකාව අවනීතිය, උන්නතිකාමය, ඕනෑම අයකුට අවශ්‍ය අතට හරවාගත හැකි සුවිකාර්ය බව වැනි දෑ මතින් නිශ්චය වූ දේශයක් ලෙස මෙහි නිරූපිතය. යුද්ධයෙන් පසුව වඩාත් ශෝචනීය අන්දමින් බිඳීම් වලට ලක් වූ, සිදුවූ දේවල් වල අවතාර හොල්මන් කරන තැනක් ලෙස නිරූපණය වී ඇත. මෙහි ප්‍රධාන චරිත රට හරහා යන භෝ චාරිකාවන් අතුරින් එකකදී තෝමස්, ජෝන් හා වයිනොනාට දුගී භාවයට පත්, මිරිදියේ මට්ටි බෙල්ලන් ඇල්ලීමේ යෙදෙන ෂෝනි ඉන්දියානුවකු මුණ ගැසෙයි. එකිනෙකා අතර පොදු භාෂාවක් නැති නිසා ඔහුට වයිනොනා සමග කථා කළ නොහැක. ඔවුන් දෙදෙනාම සිටිනුයේ තමන්ට සිටීමට අවශ්‍ය වූ ස්ථානවල නොවේ. මේ සංවේගජනක අවස්ථාව තෝමස් නිවැරදිව, සැකෙවින් විස්තර කරන්නේ මෙසේය: "නිකම්ම නාකි, කණවැන්දුම් ඉන්දියානුවෙක් හම්බ වුණා ගඟක් ළඟදි. මිනිහගෙ නම අපි දැනගෙන හිටියෙ නෑ."
ගැටුම් වලින් විනාශ වී ගිය, "වැරදි ක්‍රමයට ඝාතනය කරන ගවයන් මෙන් හඬ නගන", රැහැන් පොට වලින් එල්ලෙන අතපය, වැහැරී ගිය මැලවුණු ශරීර ඇති, අවතාර වැනි මිනිසුන්ගෙන් ගහණ වූ රටක් පිළිබඳව මවන චිත්‍රය, තෝමස් මෙන්ම කතුවරයාවද විස්මයට පත් කළ රටේ භූමි දර්ශන සමග ප්‍රතිවිරෝධි වන අතර නිරීක්ෂකයා තුලද එවැනිම විස්මයාවහ බවක් ඇතිවීම අපේක්ෂා කරන්නාක් මෙන් පෙනෙයි. "හැම දේම විනාස වෙල නැති භංග වෙලා ගිය, දුෂ්ට වර්ගයකට අයිති මනුස්සයෙකුට විතරයි පුළුවන් ඔය වගේ දර්ශන දැකල අඬන්න. මොකද ඒ දේවල් වලින් එයාගේ ජීවිතය කවුරුවත් අනුමත කරන්නෙ නෑ කියල කියනව වගේ දැනෙනව"
Days Without End යනු අතිශය විවෘතභාවයකින් යුතු කෘතියකි. එහි එන විස්මයජනක වාක්‍ය රටා අතහැර යාමට බැරිතරමේ විශාල කියවීමේ අවකාශයක් ලබා දෙන්නකි. එහි කථා වින්‍යාසය කියවන්නා කථාව සමග ඉදිරියට ගමන් කරවයි. එහි පිටු අතර කතුවර බැරී මවා පෙන්වන්නේ අභ්‍යන්තරයට නැඹුරු වූ, කුඩා පරිමාණයේ, නිහඬ, ශුද්ධ වූ ලෝකයකි. ඒ ලෝකය තුළ අවකාශයන් හා සීමාවන් පිහිටා ඇත්තේ සිතා ගැනීමට අසීරු තරම් දුරවල් වලිනි. සමස්තයක් ලෙස ගත්විට සෙබැස්තියන් බැරීගේ මේ මැක්නල්ටි වික්‍රමය පර්යේෂණාත්මක, ස්වයංව අලුත්භාවයට පත්වන, හුස්ම නවතන තරමේ උද්වේගකර බවක් ඇතිකරවන එකකි. එය තවමත් අවසන් වී නැති සෙයකි.
උපුටා ගැනීම
‘ද ගාඩියන් වෙබ් අඩවිය‘
පරිවර්තනය
වොජිත් කරුණානායක
COMMENTS