රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වූ දින එවකට ජනාධිපති මන්දිරයේ ජනපති ලේකම් නමින් ලියාපදිංචිව තිබූ දුරකථන අංක කිහිපයක් සැකසහිත ලෙ...
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වූ දින එවකට ජනාධිපති මන්දිරයේ ජනපති ලේකම් නමින් ලියාපදිංචිව තිබූ දුරකථන අංක කිහිපයක් සැකසහිත ලෙස දුරකථන සබඳතා පවත්වා ඇතැයි රහස් පොලිසිය ඊයේ (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා වෙත වැඩිදුර වාර්තාවක් මඟින් කරුණු වාර්තා කළේය.
තවද මෙම දුරකථන අංක සිද්ධියට අදාළ දින භාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීම සඳහා ජනාධිපති සහකාර ලේකම් අභ්‍යන්තර පාලක වෙතින් ඉල්ලීමක් කර ඇතැයි ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.
සිද්ධිය ඊයේ (24) නැවත කැඳවූ අවස්ථාවේ දී පළමු සැකකරු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චමිපික පෙරේරා හා දෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහිදි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් පවත්වාගෙන යන බවත් මරණකරුගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් රහස් පොලිසියට නෛතිකව ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ මස 21 වන දින උපදෙස් ලබා දුන් බව පැවැසීය.
මරණකරුගේ පළමු පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ පරික්ෂණයෙන් අනතුරුව ගනු ලැබු තීන්දුව ද සළකා නීතිපතිවරයා විසින් රහස් පොලිසියට මෙම උපදෙස් ලබා දීමට කටයුතු කර ඇති බවට ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි නීතිඥ මිස්බා මහතා පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ගනු ලබන පියවර දිහා මහත් ජනතාවම බලා සිටින බවත් සැබෑ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමට රහස් පොලිසිය ක්‍රියා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවට ද හෙතෙම පැවැසීය. සිද්ධියට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන පවත්වන බවත් පුද්ගලික ඔත්තුකරුවන් හා ආවේක්ෂණ නිලධාරින් විසින් ලබාගත් තොරතුරු අනුව ඉදිරි විමර්ශන පවත්වන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.
අපරාධ ස්ථානය හා එම ප්‍රදේශයේ සිද්ධිය වූ දින පවත්වා ඇති සැකසහිත දුරකථන සබඳතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් එවකට ජනපති මන්දිරයේ ජනපති ලේකම් නමින් ලියාපදිංචි දුරකථන අංක කිහිපයක් සැකසහිත දුරකථන සබඳතා පවත්වා ඇති බව පවසන රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් දුරකථන මධ්‍ය සැපයුම් ඒකකය තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පැවැසීය.
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ යැයි සැක කරන මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගත් අස්ථි කොටස් පාර්සල් 18 නඩුව ආරම්භ වන තෙක් නැවත දැනුම් දෙන තුරු නීතිපතිවරයාගේ උපදෙස් අනුව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සුරක්ෂිතව තබා ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග නිකුත් කළේය.
අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අනුව ඉකුත් 2016/10/3 වන දින සෝදිසි වරෙන්තුවක් ලබාගෙන රහස් පොලිස් නිලධාරින් හා තාජුඩින්ගේ දෙවන මරණ පරික්ෂණය කළ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමඟ මාලබේ පිහිටි සයිටම් ආයතනය සෝදිසි කර මරණකරුගේ යැයි සැක කරන අස්ථි කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ අනන්‍යතාව තහවුරු කළ පාර්සල් 18ක් රහස් පොලිසිය භාරයට ගත් බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.
එහි කලවා අස්ථි 19, පපු අස්ථි 7 තිබූ බවත් ජාන පරික්ෂණයක් ද පැවැත් වූ බව පවසන රහස් පොලිසිය මෙම අස්ථි කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සයිටම් ආයතනය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් පවත්වා නීතිපතිතුමා වෙත උඨෘත යොමු කර ඒ සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවට ද අධිකරණයට දන්වා තිබිණ.
මෙම අස්ථි පාර්සල් 17 දැනට රහස් පොලිසියේ ගබඩා කර ඇති බවත් ඒවා සංරක්ෂණයට අපහසු බැවින් සුරක්ෂිතව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තබා ගත හැකි බවට ප්‍රධාන වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා කරන ලද දැනුම් දීමකට අනුව මෙම අස්ථි කොටස් නීතිපතිවරයාගේ උපදෙස් මත සෘජුවම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගබඩා කර තැබීමට අවසර ලබා දෙන ලෙසට රහස් පොලිසිය අධිකරණ යෙන් ඉල්ලා සිටියේය.
COMMENTS