මේ වන විටත් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැනනැගී ඇති විසංවාද වළක්වා ගනිමින් සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වඩාත් විශ්වසනීයව සහ ශක්තිමත්ව ක්...
මේ වන විටත් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැනනැගී ඇති විසංවාද වළක්වා ගනිමින් සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වඩාත් විශ්වසනීයව සහ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සභාවක් පිහිටුවීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අදාළ කැබිනට් මණ්ඩල සංදේශය ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාව (National Economic Council ) මැයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුව ජනාධිපතිවරයාට සෘජුවම වාර්තා කරන අයුරින් ජනාධිපති කාර්යාලය තුළ එය ස්ථාපිත කිරීමට අපේක්ෂිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
රජයේ සංවර්ධන සැලසුම් සහ ප්‍රමුඛතාවලට අදාළ වන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර සඳහා අමාත්‍ය මණ්ඩලයට උපදේශනය සහ නිර්දේශ සැපයීම වෙනුවෙන් ඉහළ වෘත්තීයමය කළමනාකරණයකින් මෙහි ව්‍යුහය සකස්ව ඇති බවත් ඒ යටතේ ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යන අය මෙහි සාමාජිකත්වය දරයි.
එසේම වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්වරයාට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ ආර්ථික හා මූල්‍ය කටයුතුවලට අදාළ අනෙකුත් මණ්ඩල නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන බවත්, ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවේ කාර්ය කටයුතු වෙනුවෙන් ආර්ථික සහ මුල්‍ය කටයුතුවලට විශේෂඥතාවක් දක්වන කාර්යමණ්ඩලයක සහය ගැනීමට ද නියමිත බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
(කාශ්‍යප කොතලාවල)
COMMENTS