ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවෙන් බිහිවූ වඩාත්ම දයාබර මිනිසෙකි. ඇස් අදහාගත නොහැකි නායකයෙකි. එදාමෙදාතුර ආසියාවේ වඩාත්ම ගෞරවනීයම ජනනායකයා ලෙ...
ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවෙන් බිහිවූ වඩාත්ම දයාබර මිනිසෙකි. ඇස් අදහාගත නොහැකි නායකයෙකි. එදාමෙදාතුර ආසියාවේ වඩාත්ම ගෞරවනීයම ජනනායකයා ලෙස බුහුමන් ලබන්නේ ද ඔහු ය. ඔහු තමන්ගේ ‘විදිහ’ සහ ‘ඉගැන්වීම්’ හරහා නොනැසෙන උරුමයක් ඉන්දියාවට දායක කළේය. මිනිසුන්ගේ මතකයේ සදාතනිකව රැඳෙන ගෞරවනීය දෙයක් තබා ගියේය.
ඔහුට තිබුණේ අල්පයකි. උපයන දෙයින් බහුතරය ඔහු දන් දුන්නේය. නැතිනම් පරිත්‍යාග කළේය. තමන්ගේ වත්කමක් යැයි කිවහැකි ඔහු තබාගිය ලොකුම දෙය, පොත් 2500 කින් යුත් පොත් සම්භාරයයි. ඒ හැරුණු විට ඉතිරි ලැයිස්තුව මෙසේ ය. අත් ඔරලෝසුවක්, ටී ෂර්ට් 6 ක්, කලිසම් 4 ක්, ෆුල්සූට් 3 ක් සහ සපත්තු ජෝඩුවකි. ඔහු සතුව දේපළ තිබුණේ නැත. ශීතකරණයක්, මෝටර් රියක්, රූපවාහිනී යන්ත්‍රයක් හෝ වායුසමීකරණ යන්ත්‍රයක් යන මේ කිසිවක් තිබුණේ නැත.
ප්‍රසිද්ධ ජීවිතය දශක කිහිපයක් ගත කළ සහ අවසානයේ රටේ ජනපති වූ මිනිසෙක් මේ තරම් අල්පයක් පමණක් ‘ඉතිරි කර මිය යාම’ මවිතය දනවනසුලු කාරණයක් වන්නට පුළුවන. නමුත් ඔහු ගත කළ අති සරල ජීවිතයේ සාරය දැන සිටි අය පමණක් ඒ ගැන පුදුම නොවෙති. ජිවිතයේ අවසාන කාලයේ ඔහු ජීවත් වුණේ විශ්‍රාම වැටුපට අමතරව තමන් රචනා කළ පොත් හතරෙන් ලබාගත් කර්තෘභාගයෙනි. ආර්ථික වශයෙන් සැලකූ විට ඔහු දුප්පතෙක් නොවේ. පොහොසතෙක් ද නොවේ.
ආචාර්ය අබ්දුල් කලාම් ප්‍රතිපත්ති ගරුක මිනිසෙක් විය. සිය ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඉන්දීය රජය ඔහුට රාජාජි මාර්ග් හි පිහිටා තිබූ බංගලාවක් ප්‍රදානය කළේය. නමුත් ඒ දෙමහල් නිවස අද දක්වා ද හිස් ය. පාළු ය. මේ මිනිසා කිසිවිටෙක තමන්ට ලැබුණු පුද්ගලික ත්‍යාග භාරගත්තේ නැත. ජනාධිපති වශයෙන් සිටියදී විදෙස් රාජ්‍යවලින් ලැබුණු සුළු තෑගි පවා වගුගත කර මහා භාණ්ඩාගාරය වෙත යැව්වේය.
ඔහු කිසිදු විටෙක ජාතිවාදය හෝ ආගම්වාදය ගැන ජනතාවගේ හැඟීම් ඇවිස්සූ බවට ද වාර්තා නැත.
ආචාර්ය අබ්දුල් කලාම් භෞතික විද්‍යාවේ කෙළ පැමිණියෙකු පමණක් නොව, ගගන ඉංජිනේරු විද්‍යාවේ හසල දැනුමැති ආචාර්යවරයෙක් විය. බැලස්ටික් මිසයිල තාක්ෂණය සම්පූර්ණයෙන්ම දියුණු කළ නිසාම ‘ඉන්දියාවේ මිසයිල මිනිසා’ යනුවෙන් ඔහු හැඳින්වේ.
ආචාර්ය කලාම් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන ‘භාරත් රත්න’යෙන් පිදුම් ලැබීය. හරියටම මෙයට වසර 2කට පෙර 83 හැවිරිදිව සිටියදී ඔහු සමුගත් විට හැඬූ තරමට” ඉන්දියාවේ කිසිදු ජන නායකයෙක් මියගිය විට ජනතාව හඬා නැත. ඔහු නියම ‘භාරත පුත්‍රයෙක්’ විය.
2002 සිට 2007 අතර කාලයේ ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා බවට පත්වූ මේ මිනිසා ඉගැන්වීමට මහත් සේ ආශා කළේය. නමුත් ඒ වෙනුවෙන් ඔහු පයිසයක්වත් අය කළේ නැත. ආචාර්ය කලාම් ඉපදුණේ ඉතා දුගී පසුබිමකින් යුත් පවුලකිනි. ඔහු කිසිදු විටෙක ඒ පිළිබඳ විස්තර හෙළි කිරීමට නොපසුබට වුණේය. බෝට්ටුකරුවෙකු වූ සිය පියාට පවුල රැක බලා ගැනීම ට උදව් කරමින් ඔහු පාසල් වේලාවෙන් පසුව පත්තර විකුණුවේය. ඔහු සියයට සියයක්ම එළවළු අනුභව කරන්නෙක් විය.
නමුත් එහෙව් අබ්දුල් කලාම්, බුදුහාමුදුරුවන්ගේ නෑයෙක් කියා කියන්නට තරම් ඉන්දියාවේ ජන‘මූල’ කලාකරුවන් උමතු වුණේ නැත. එසේ වුණේ යන යන තැන වැසිකිළිය රැගෙන යාමේ ෆෝබියාවක් පවා නොමැතිව තිබියදී ය. !
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS