විනුමි සම්බන්ධ වුණු 'ධර්ම යුද්ධය' දැන් තිරයට ඇවිත්? ඔව්. හරිම ආදරෙන්, සතුටෙන් ගෙවපු දවස් කිහිපයක ප්‍රතිඵලය තමයි අද එළියට ඇවිත...
- විනුමි සම්බන්ධ වුණු 'ධර්ම යුද්ධය' දැන් තිරයට ඇවිත්?
ඔව්. හරිම ආදරෙන්, සතුටෙන් ගෙවපු දවස් කිහිපයක ප්‍රතිඵලය තමයි අද එළියට ඇවිත් තියෙන්නේ. ජැක්සන් මාමා, දිල්හානි නැන්දා, තිසුරි අක්කා, මම, වුණු මහන්සිය ධර්ම යුද්ධයෙන් දැක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ චිත්‍රපටය බලන කවුරු වුණත් අඬන්නේ නැතුව චිත්‍රපට ශාලාවෙන් එළියට යන්නේ නැති වෙයි. පවුලක තියෙන බැඳීම හරි ලස්සනට මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරලා තියෙනවා.
- මේ විනුමි සිනමාවට එකතු වුණු පළමුවැනි අවස්ථාව නෙවෙයි නේද?
මම මීට කලින් "හෝ ගානා පොකුණ" චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටයේ හිටපු ළමයි දහඅට දෙනාගෙන් කෙනෙක් තමයි මම. මම දෙවැනියට සම්බන්ධ වුණේ ධර්ම යුද්ධය චිත්‍රපටයට. මට යමක් කරන්න තිබ්බේ ධර්ම යුද්ධය චිත්‍රපටයේදී තමයි.
- විනුමි රංගනයට එන්න කැමැත්තෙන් හිටපු කෙනෙක්ද?
පුංචි කාලේ ඉඳන් මම රඟපාන්න, නිවේදන කටයුතු කරන්න කැමැතියි. මම සෞන්දර්යට ළැදියි කියලා මගේ අම්මයි, අප්පච්චියි තේරුම් ගත්තා. දක්‍ෂතාව හඳුනගෙන මාව මේ දේවල්වලට යොමු කළ නිසා තමයි අද මම මෙච්චර දුර ඇවිත් තියෙන්නේ.
- ධර්ම යුද්ධය චිත්‍රපටයේ 'සචිනි' කියන චරිතය විනුමිට ලැබුණේ කොහොමද කියලත් කියමු?
මම දෙක වසරේ ඉඳන් සිරසේ කිඩ් ෆස්ට් ළමා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ගිහාන් රංග බණ්ඩාර මාමාගේ මාර්ගයෙන් තමයි මම මේ චිත්‍රපටයේ ඉන්ටර්විව් එකට ගියේ. මාව ඒ ඉන්ටර්විව් එකෙන් තේරුණා කියලා පහුවදාම මට දැනුම් දුන්නා.
- රංගනයෙදි විනුමිගෙ අම්මයි තාත්තයි වෙන්නේ කවුද කියලා ඒ වෙනකොට දැනගෙන හිටියද?
ඔව්. චිත්‍රපටය කරන්න කලින් අපේ අප්පච්චි මට පාපනාසම් චිත්‍රපටයයි, දෘෂ්්‍යම් චිත්‍රපටයයි බලන්න ගෙනත් දුන්නා. ඒ චිත්‍රපටයේ පොඩි දුව එයාගේ තාත්තිව බදා ගන්නවා. හාදු දෙනවා. ඉතින් ඒ තරම් ආදරණීය විදියට ඒ චරිතය දකිද්දී මමත් ඇහුවා කවුද මේ චිත්‍රපටයේ අප්පච්චිට ඉන්නේ කියලා. ජැක්සන් මාමා එක්ක රඟපාන්න තියෙන්නේ කිව්වම මම බෑ කිව්වා. ජැක්සන් මාමගේ තට්ටෙනේ තිබ්බේ. මම එයා ඊට කලින් කරපු චරිත දැකලා තිබ්බා. ඒවා නපුරු චරිත. ඒ නිසා තමයි මම යන්න බෑ කිව්වේ. අපේ අම්මා ගිහාන් අංකල්ට ඒක කිව්වම ඒ වෙලාවෙම ජැක්සන් මාමා මට කතා කළා. මුලින්ම ෂූට් කළේ විනෝදෙන් ඉන්න කොටස් ටික. එතකොට මගේ බය අඩු වුණා.
- ධර්ම යුද්ධයට සම්බන්ධ වෙන්න කලින් පාපනාසම්, දෘෂ්්‍යම් චිත්‍රපටවල රංගනයන් විනුමි අධ්‍යයනය කළාද?
මම ඒ චිත්‍රපට බැලුවා. හැබැයි ඒ චිත්‍රපටවල හිටපු පොඩි දුවට වඩා මට මේ චිත්‍රපටයේ දෙයක් කරන්න තිබ්බා. මොකද ඒ චිත්‍රපටවල හිටපු පවුලේ බාල දුවට වඩා මම වයසින් වැඩියි. සචිනි කියන්නේ අම්මගෙයි, අප්පච්චිගෙයි, අක්කගෙයි ආදරය රැකවරණය ලබලා හුරතලේට හැදුණු කෙනෙක්. හැබැයි පවුලේ ප්‍රශ්නයටත් එයාගේ මැදිහත්වීමක් තිබුණා. ඒ නිසා මට මගේ හැකියාව පෙන්නලා ඒ චරිතය හොඳින් නිරූපණය කරන්න පුළුවන් වුණා.
- ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, තිසුරි තමයි ධර්ම යුද්ධයේ විනුමිගේ පවුලේ අය විදියට රඟපාන්නේ. රංගනයේදී ප්‍රවීණයන්ගෙන් විනුමිට මොන වගේ සහායක්ද ලැබුණේ?
තිසුරි අක්කි හරියට මගේම අක්කි වගේ. එයා හරි හොඳයි. මට අඳින්න ඇඳුමක් ලැබුණම මම ඉස්සෙල්ලම බලන්නේ එයාගේ ඇඳුම ලස්සනද කියලා. අපි විහිළුවට රණ්ඩුත් වෙනවා. ඒත් හරිම ආදරණීයයි. චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලෙදි මම අසනීප වුණා. මගේ ආච්චි අම්මා තමයි ළඟ හිටියේ. එයත් බය වෙලා හිටියේ. මගේ අම්මා ඒ වෙලාවේ ළඟ හිටියේ නෑනේ. ඉතින් දිල්හානි ආන්ටි තමයි අම්මා කෙනෙක් වගේ මාව බලා ගත්තේ. ජැක්සන් මාමා අපි තුන්දෙනාව බලාගත්තේ දූවරු තුන්දෙනෙක් බලා ගන්නවා වගේ. දිල්හානි නැන්දි හරියට පොඩි දුව වගේ තමයි හැසිරුණේ. ජැක්සන් මාමා හරියට විශ්වකෝෂයක් වගේ. එයා එක්ක ඉද්දි ලොකු දැනුමක් ලැබුණා.
- විනුමිට හොඳම අවස්ථාවක් නේද ලැබිල තියෙන්නේ?
ඔව්. මේ චිත්‍රපටය තමයි මට ලැබුණු හොඳම අවස්ථාව. හිනාවෙන, සතුටින් ඉන්න ඒවා කරන්න ලේසියි. හැබැයි කුතුහලය ත්‍රාසය මතු කරන්න අමාරුයි. ඒ වගේ අමාරු චරිතයක් මට ලැබුණු එකත් ජයග්‍රහණයක්. මම දැනුමෙන් අඩු කෙනෙක්. ජැක්සන් මාමා, දිල්හානි නැන්දා, තිසුරි අක්කා වගේ ප්‍රවීණ පිරිසක් එක්ක මට රඟපාන්න ලැබීමම ලොකු අවස්ථාවක්.
- විනුමිට දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවත් ඇති?
ඔව්. චිත්‍රපටය රිලීස් කරපු දවසේ චිත්‍රපටය බලලා එළියට ආවම ගොඩක් අය මට සුබ පැතුවා. ප්‍රවීණ මාමලා, නැන්දලා මම හොඳට රඟපාලා තියෙනවා කියලා තමයි කිව්වේ. අපි වුණු මහන්සියට ඒ වගේ සුබ පැතුම් ලැබෙද්දි ගොඩක් ලොකු සතුටක් දැනුණා.
- රංගන කටයුතු නිසා පාසලේ වැඩකටයුතු මඟහැරුණේ නැද්ද?
මගේ පාසල කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලය. මේ වෙලාවේ මගේ පාසලේ විදුහල්පතිතුමිය වගේම ගුරු මවුවරු, පියවරු, මගේ යාළුවෝ මතක් කරන්න ඕන. මට අතපසු වුණු පාඩම් මගේ යාළුවෝ ෆොටෝ කොපි කරලා දුන්නා. ඒ හැමෝම මට උදවු කරපු නිසා තමයි මට මේ චිත්‍රපටය සාර්ථකව කරගන්න පුළුවන් වුණේ.
- 'ධර්ම යුද්ධය' චිත්‍රපටයේ පවුල වගේම බොහොම ආදරණීය පවුලක් විනුමිටත් තියෙනවනේ. ඒ ආදරණීය පවුල ගැනත් මතක් කරමු?
මගේ අප්පච්චි ෂෙහාන් නිරෝෂ. මගේ අම්මා ප්‍රියංවදා පෙරේරා. මට ඉන්නේ චූටි මල්ලියෙක්. එයා විනුජ කිහාන්. මගේ ආච්චි අම්මා තමයි මාව ෂූටින් යද්දි මගේ පස්සෙන්ම හිටියේ. චිත්‍රපටයෙදි ජැක්සන් මාමා හැම තිස්සෙම පවුඩර් ගානවනේ. අපේ අප්පච්චිත් එහෙමයි. චිත්‍රපටයේ පවුල වගේම මගේ පවුලත් හරිම ආදරෙන් ඉන්නේ. අපි රෑ කෑමට මේසෙට ආවම දවසේ වුණු හැමදේම කියනවා. මල්ලියි මායි රණ්ඩු වෙලා බැනුම් අහන්නෙත් ඒ වෙලාවට තමයි. මගේ පවුලේ මං විඳපු ආදරෙත් එක්ක මට චිත්‍රපටයෙදිත් මගේ රංගනය හොඳට කරගන්න පුළුවන් වුණා.
- දැන් විනුමි දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද?
ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. දැන් මම ඉගෙන ගන්නේ නවය වසරේ. තව අවුරුදු දෙකකින් මම සාමාන්‍ය පෙළ විභාගය කරනවා. ඒ නිසා මම ඉගෙනීම් කටයුතුවලට මුල්තැන දීලා සාමාන්‍ය පෙළ විභාගය කළාට පස්සේ රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
- එතකොට විනුමි අනාගතයේ කවුරු වෙන්නද හීන දකින්නේ?
මම විද්‍යාව විෂයට ගොඩක් කැමැතියි. ඒ නිසා වෛද්‍යවරියක් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා ඒක මට කරන්න පුළුවන් වෙයි.
-තිළිණි කෞශල්‍යා විජේසිංහ
COMMENTS