හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් කිහිප දෙනෙකුටම එරෙහිව අධිකරණය හමුවේ මේ සතියතුල නඩු කිහිපයක්ම විභාගයට ගැනීමට නියමිතය. ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් කිහිප දෙනෙකුටම එරෙහිව අධිකරණය හමුවේ මේ සතියතුල නඩු කිහිපයක්ම විභාගයට ගැනීමට නියමිතය.
ඒ අනුව, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් තුන් කෝටි හැටපන් ලක්ෂයක් වටිනා GI බට මිලදී ගෙන ප්‍රාදේශීය සභාපතිවරුන් හරහා ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සඳහා යෙදවීම සම්බන්ධ නඩු විභාගය හෙට (26) කොළඹ මහාධිකරණයේදී ද, ගම්පහ මල්වානේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් මිලදී ගැනීම හා එහි කෝටි ගණනක් වටිනා නිවසක් ඉඳි කිරීමට අදාල මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකිවීම සම්බන්ධ නඩු විභාගය ජුලි 27 දා ගම්පහ මහාධිකරණය හමුවේද විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩු පවරා ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසිනි.
මෙම නඩුවට අදාල සැකරුවන් කිහිප දෙනෙකුම රජයේ සාක්ෂිකාරයින් වීමට දැනටමත් එකඟත්වය පළකර ඇතයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ලලිත්ට එරෙහිව:
මේ අතර FCID විසින් ගොනුකර ඇති තවත් බරපතල මුල්‍ය අපරාධ පැමිණිලි කිහිපයක්ම මේ සතිය තුල අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
ඒ අනුව, විදුලි සංදේශ නියාමන කොමිෂමට අදාළ රුපියල් මිලියන 600ක් ජනාධිපති කාර්යාලයේ නිල ගිණුම් හරහා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 'සිල් රෙදි' බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩුව අනිද්දා (27දා) කොළඹ මහාධිකරණය හමුවේද, ලංකා හොස්පිටල් ආයතනයේ සිදුව ඇති රුපියල් කෝටි ගණනක් මුල්‍ය වංචාවට අදාළ නඩු විභාගය එදිනම (27) අලුත්කඩේ මහාධිකරණයේ දීද, වී අලෙවි මණ්ඩලයේ වී සහල් කිරීම සඳහා ලබාගෙන ඒ සඳහා සහල් හෝ මුදල් නොදී රුපියල් මිලියන 1761 ක මුදලක් වංචා කිරීම හා සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් කනේවෙල ආරච්චිලාගේ වජිර උපුල් ශාන්ත නැමැත්තාට එරෙහි නඩු විභාගය හෙට (26) ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ද විභාගයට ගැනීමට නියමිතය.
ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය:
මෙතෙක් සැකකරුවකු ලෙස නම් කර නොමැත
එසේම, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් වැයකර මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකරමින් රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහි නඩුව ජුලි 28දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී ද විභාගයට ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇතත් මෙතෙක් ඔහුව සැකකරුවකු ලෙස නම් කර නොමැත.
තවද, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජන සිදුකර පුද්ගලයින්ගේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම හා සාපරාධි විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් එන් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉසිර ධර්මප්‍රිය දසනායක, චානුක උපේන්ද්‍ර රත්වත්ත, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂන් රෝමෙලෝ මෙන්ඩිස් යන අයට එරෙහි නඩු විභාගය ජුලි 28දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ද විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS