වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක් විසින් ආනයනය කරන ලද වාහන අමතර කොටස් අඩංගු බහලුම් 8ක් නිදහස් කරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් රේගුවට න...
වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක් විසින් ආනයනය කරන ලද වාහන අමතර කොටස් අඩංගු බහලුම් 8ක් නිදහස් කරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් රේගුවට නියෝගයක් නිකුත් කරනු ලැබුවේ නීතිපති උපදෙස් මත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත 2016 වසරේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් අදාළ පෞද්ගලික ආයතනය වෙත සහන සැලසීමට රජය තීරණය කළ බවයි.
අදාළ වාහන එකලස් කිරීමේ පෞද්ගලික සමාගම මෙරට තුළ කටයුතු ආරම්භ කර ඇත්තේ 2005 වසරේ වන අතර එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට වරින්වර බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 20කට අධික ප්‍රමාණයක් ගොනුකර ඇති බව ද සඳහන් වේ.
ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇති කරගත් එකඟතාවකට අනුව 2012 වසරේ දී වාහන එක්රැස් කිරීමේ ව්‍යාපාරයේ නිරත වීම සඳහා මෙම සමාගමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් අනුමත කළ සහතිකයක් ද නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අදාළ සමාගම ගොනුකර තිබූ පෙත්සමක තීන්දුව 2015 වසරේ දී ප්‍රකාශයට පත්කෙරුණු අතර එම තීන්දුවට අනුව එවකට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් විසින් අදාළ ආයතනයට සහන සැලසීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2016 වසරේ ඔක්තෝබර් මාසයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
කරුණු එසේ තිබියදී රවී කරුණානායක අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත අදාළ තීරණය ගත් බවට ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ඇතැම් මාධ්‍ය ද්වේශ සහගත විවිධ චෝදනා සිදුකරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මුදල් අමාත්‍යවරයා වාහන ජාවාරම්කරුවන්ට සහන ලබාදීම සඳහා කටයුතු කරන බවට පළවන ප්‍රචාර ද්වේශ සහගත බැවින් එය තරයේ හෙළා දකින බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS