අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වූ පමණින් ඔවුන් තනතුරු වලින් ඉවත් වන තත්වයක් වත්මන් රජය විසින් නිර්මාණය කර ඇති බවත් එය ඉතිහාසයේ කිසිදා නොවූ ද...
අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වූ පමණින් ඔවුන් තනතුරු වලින් ඉවත් වන තත්වයක් වත්මන් රජය විසින් නිර්මාණය කර ඇති බවත් එය ඉතිහාසයේ කිසිදා නොවූ දෙයක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර එම උත්සව අවස්ථාවේ දී ප්‍රකාශ කළේය. මීට පෙර බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ පාලන සමයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් තනතුරු වලින් ඉවත් කර ඇති නමුත් ඉන් පසුව එවන් පියවර නොගැණුනු බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ බණ්ඩාරනායක යුගයෙන් පසුව රජයන්හි අමාත්‍යවරුන් වැරදි කළ මුත් අද මෙන් විශිෂ්ට තීරණ ගැනීමට එදා රජයන් අපොහොසත් වූ බවයි.
මීට පෙර ද කෝප් වාර්තා අනන්තවත් එළිදක්වා ඇති බවත් බිලියන ගණන් වංචා හෙළිදරව් වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මීට පෙර කිසිම මන්ත්‍රීවරයකුට හෝ නිලධාරියකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණු බවත් එම වාර්තා කුණු කූඩයට යැවුණු බවත්ය. එහෙත් වත්මන් රජය විශිෂ්ට තීරණ ගනිමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ජනතාවට සේවය කරන බව කියා චන්දය ගත්තත් බොහෝ දේශපාලනඥයින් කරන්නේ තමන්ට ම සේවය කර ගැනීම බව පැවසූ අමාත්‍යවරයා හෙළිදරව් කළේ නිවසක් ලබා ගත් පළමු අමාත්‍යවරයා රවී නොවන බවත් නිවාස ලබා ගත් තවත් අය සිටින බවත්ය. එසේම අයිතිකරුවන් නොමැති මන්දිර තිබෙන බවත් සමහර මන්දිරවල අයිතිකරුවන් බාස්ලා බවත් පැවසූ අමාත්‍යවරයා එම සිද්ධීන් ඔවුන් ගොඩින් බේරාගත් බවද එය වැරදි ක්‍රියාවක් බව ද ප්‍රකාශ කළේය. එසේම එදා සොරකම් කළා නම් ඒ සොරුනුත් වත්මන් රජයේ සොරකම් කළා නම් ඒ සොරුනුත් සියල්ලන් ම අල්ලා ගත යුතු බව ජනතාවගේ මතය යැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS