ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට සාකච්ඡා කරමින් යන බවත් එම තීරණය ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේ...
ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට සාකච්ඡා කරමින් යන බවත් එම තීරණය ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඉන්දියාවේ පැවැත්වෙන රයිසිනා සමුළුවට සහභාගී වී සිටින අතුරතුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරයි.
“ලෝකයේ ගැඹුරුතම මුහුදක් සහිත වරායවල් අතරින් එකක් වන ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පිරි නැමීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙනවා.‘ යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.
චීනයේ සබ්මැරීන් සහ යුද නෞකා ශ්‍රී ලංකා මුහුදේ සැරිසැරීම සම්බන්ධයෙන් ඉන්දියාව අවධානය යොමුකොට ඇති බවත්, ඉන්දියාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එය පිළිගත හැකි වුවත් ඉන්දියාව හා චීනය අතර බල අරගලයට ශ්‍රී ලංකාව අපක්‍ෂපාතී වන බවත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් වන බැවින් ඉන්දියාව කනස්සල්ලට පත්විය යුතු නැති බවත් සරත් ෆොන්සේකා ද හින්දු පුවත්පතට පවසා ඇත.
මෙය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අනුව ලංකාවේ වරායන්ට පිවිසීමේ සමාන අවස්ථා චීනයට සහ ඉන්දියාවට අත් කර දීමකි.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඇති හම්බන්තොට වරායට යටිතල පහසුකම් සැපයීමට චීනය සම්බන්ධ කර ගැනීම තුළ ලංකාවට විශාල බරක් පැටවුණු බව ද ෆොන්සේකා මහතා පැවසී ය.
“හම්බන්තොට වරායේ ඵලදායි නොවන වැඩ කටයුතු නිසා ලොකු ණය බරක් ඇති වෙලා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රශ්න සහ දූෂණ නිසා යටිතල පහසුකම් සංවර්ධනය ගැන යළි සොයා බැලීමට සිදුවුණා. වරාය පෞද්ගලික ආයතනයකට දෙන්නේ ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලෙසයි. චීනයේ සබ්මැරීනයක් ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා.“ යැයිද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කැරුණු හම්බන්තොට වරාය ශ්‍රී ලංකා - චීන ප්‍රධාන ව්‍යාපෘතියකි. නමුත් ණය බර ගැන විවාදය නිසා ව්‍යාපෘතියේ වැඩ මන්දගාමී විය.
සරත් ෆොන්සේකා මහතා රයිසිනා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියන් සාගර කලාපය ගැන හා නාවික කටයුතු නිදහසේ කර ගැනීම සම්බන්ධයෙන් ලංකාව කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරන බවයි.
ත්‍රස්තවාදයට සහ ආගමික අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
“පටු දේශපාලන අභිමතාර්ත නිසා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ දේශපාලන පක්ෂ සහ නායකයන් යුද සමයේ දෙමළ සටන්කාමීන්ට උදව් කළා.“ යැයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
COMMENTS