හම්බන්තොට වරායේ සේවක විරෝධය මැඩපැවැත්වීමේදී නාවික හමුදාපතිවරයාගේ හැසිරීම හෙළාදකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනය...
හම්බන්තොට වරායේ සේවක විරෝධය මැඩපැවැත්වීමේදී නාවික හමුදාපතිවරයාගේ හැසිරීම හෙළාදකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනය පහතින් දැක්වේ.
නාවික හමුදාපතිගේ ප්‍රහාරය හෙළා දකිමු
හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම හා ඔහුට පහර දීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළාදකිමු.
පසුගිය ආණ්ඩු කාලයේ රතුපස්වල දී බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අතුළු යුද හමුදා පිරිසක් ජනමාධ්‍යවේදීන්ට පහර දීම සහ වර්තමානයේ නාවික හමුදාපතිවරයා ම ජනමාධ්‍යවේදියකුට පහර දී රාජකාරියට බාධා කිරීම යන සිදුවීම් දෙක අතර ලොකු වෙනසක් අපි නොදකිමු. මාධ්‍ය නිදහස ඇතැයි ද, ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය විවේචනය කළ ද මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම දැන් නැවතී ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මීට සති දෙකකට පමණ පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ හුදු වාග් ප්‍රලාප පමණක් ම බව මෙම සිදුවීමෙන් හොද හැටි පැහැදිලි විය.
මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස නොදකින අප මෙය බරපතළ තත්ත්වයක් බව අවධාරණය කරමු. මේ ගැන වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස්පතිගෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබේ.
රතුපස්වල සිදුවීමේදී මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවන් සිදුවීම් යළි යළිත් සිදු වීමට කිසිදු ඉඩක් නොමැත. මෙය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා සාධාරණ පරීක්ෂණයක් සිදු කර නාවික හමුදාපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
තරිදු ජයවර්ධන
ලේකම්
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
COMMENTS