ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් කාන්තාවන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදුවන්නේ යැයි ප්‍රකාශයක් නිකුත් කිරීමත් සම...
ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් කාන්තාවන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදුවන්නේ යැයි ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමග මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිකයින්ගේ සංගමයේ උතුරු පළාත් සභාපතිනියටත් එම සංගමයේ සාමාජිකාවන්ටත් මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවට ඔවුන් උතුරේ පොලීසි කිහිපයකටම පැමිණිලි කොට තිබේ.
ජනමාධ්‍යවේදීන්ට තම නම හෙලි කිරීමට අකැමැති වු සභාපතිවරිය ප්‍රකාශ කළේ ශරියා නීතිය තුළින් මුස්ලිම්වරුන් දැඩි පෞරුෂත්වයක් ආරෝපණය කරගෙන ඇති බවයි.
තම සංගමය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව කී සභාපතිවරිය විවාහයේදී ශරියා නීතිය මගින් පනවා ඇති සියළු නීති රීති සංශෝධනය කළ යුතු බව පැවසීය.
ශරියා නීතියට අනුව මුස්ලිම් තරුණියන් වයස අවුරුදු 13 දී විවාහ කරගැනීමට හැකියාව ඇතත් එය රටේ පවතින නීතියට ගැලපෙන අන්දමට වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමිය යුතු බව එම සංගමයේ අදහසයි.
එමෙන්ම මුස්ලිම් පුරුෂයෙකුට විවාහ ගණනාවක් කරගැනීමට ශරියා නීතිය තුලින් අවකාශ ලැබී තිබීම නිසා දරුවන් සමග අනාථභාවයට පත්වන මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද එම සංගමය කියයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමත් සමග තමන්ටත් තම සංවිධානයේ සාමාජිකාවන්ටත් දුරකතන පණිවුඩ හා සමාජ මාධ්‍ය හරහා මරණීය තර්ජන එල්ල වන බව පැවසූ සභාපතිනිය මේ පිළිබදව පොලීසිවලට කළ පැමිණිලිවලට අමතරව තම සංගමයේ නීතිඥවරයා දැනුවත් කොට තමන්ගේත් සාමාජිකාවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව පැවසුවාය.
එම සංගමයේ නීතිඥ අමීර් ෆායිස් මහතා ප්‍රකාශ කළේ රට තුළ විවිධ නීතිරීති ඇති ආකාරයටම ශරියා නීතියටද පැවතීමට ඉඩක් ඇතත් ඉන් කාන්තාවන්ට හෝ වෙනත් පාර්ශවයකට අසාධාරණයක් සිදුවන අන්දමට නීතියක් ක්‍රියාත්මක නොවිය යුතු බවයි.
මෙම මුස්ලිම් කාන්තා සංවිධානය රටපුරා අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වන අතර මේ අවස්ථාවේදී එම සංගමයේ පිරිසකට එල්ලවී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් තමන් කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දිනසේන රතුගමගේ
COMMENTS