ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමුවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් සහ ජන්දය දීමෙන් වැලකී සිටි මැති ඇමතිවරුන් එක්ව සිටි බව වාර්තාවේ.
විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර තවත් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ නැත.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් ඕනෑම අවස්ථාවක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පෙර සිටම සහය පළ කරමින් ඊට අත්සන් තැබූ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාදර් මස්තාන් මන්ත්‍රීවරයා ඊයේ යෝජනාවට අදාළ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වලක්වාගැනීමේ අරමුණින් තමා එම පියවර ගත් බවයි.
නිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරු 06දෙනෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාරදී තිබේ.
ඊට මන්ත්‍රීවරුන් 33 දෙනෙකු අත්සන් තබා ඇති අතර, මෙලෙස ඉවත් කරන ලෙස ඉල්ලා ඇත්තේ එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් වේ.
ඊයේ පැවති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 16 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කළ අතර, මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණ සිටියේ නැත.
මේ අතර විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොපැමිණි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ තමන් ගන්නා ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ප්‍රකාශය සිදුකරන බව අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
COMMENTS