උතුරේ පළාතේ වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් සියලු පාර්ෂවයන් ආවරණය වන පරිදි යුද හමුදාවේ, පොලීසියේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ මෙන්ම උතුරේ ස...
උතුරේ පළාතේ වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් සියලු පාර්ෂවයන් ආවරණය වන පරිදි යුද හමුදාවේ, පොලීසියේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ මෙන්ම උතුරේ සියලුම දිසාපතිවරුන් හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හමුවක් උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.
ඒ උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී ය.
මෙහිදී විශේෂයෙන් මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන කොල්ලකෑම් හා විවිධ කොල්ල කල්ලි සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඒවා පිළිබඳව සෙවීමට අවශ්‍ය පරික්ෂණ හා සෝදිසි කිරීම් වෙනුවෙන් යුද හමුදාවේ සහ පොලීසියේ අමතර බල ඇණි හා මුර සංචාරයන් යොදවා ආරක්ෂාව සැපයීමට යුද හමුදාවට හා පොලීසියට අවශ්‍ය උපදෙස් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා ලබාදී තිබේ.
ඊට අමතරව උතුරු පලාතේ පිහිටි මුහුදු සීමාවන්හි රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන ස්ථාන පිළිබවද සාකච්ඡා කොට ඇති අතර එම ස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් යොදවා අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් ද උතුරු ආණ්ඩුකාරවරයා නාවික හමුදා නිලධාරීන්ට ලබාදී ඇත.
තවද යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට මාර්ග නීති පිළිබව පූර්ණ දැනුවත් වීමක් නොමැති නිසාවෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිබඳව වැඩසටහන් මාලාවක් පවත්වා ජනතාව දැනුවත් කරන ලෙසට ද ආණ්ඩුකාරවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාවට උතරේ දිස්ත්‍රික්ක පහේම දිසාපතිවරුන‍් සහභාගී වූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ජ්‍යේෂඨ යුද හමුදා නිලධාරීන් මෙන්ම ගුවන් හමුදා හා නාවික හමුදා නිලධාරීන්ද සහභාගී වූහ.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS