ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන පසුගිය දා පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර, එහිදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් පළමු පැළය ලෙස නා පැළයක් පනාගොඩ යුද හමුදා ජනපදයේ ප්‍රධාන පිවිසුම අසල රෝපණය කරනු ලැබූ අතර, බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා ද එම ස්ථානයේ තවත් නා පැළයක් රෝපණය කරමින් එම වැඩසටහන සඳහා දායක විය.
ඉන් අනතුරුව යුද හමුදාපතිතුමා විසින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ අළුතින් ඉදි කරනු ලබන නිලධාරී නිවස්න සංකීර්ණයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එම සංචාරය සිහිගන්වමින් යුද හමුදාපතිතුමා වෙත නා පැළයක් රෝපණය කිරීමට ආරාධනා කරන ලදී.
දිවයින පුරා ව්‍යාප්ත වු යුද හමුදා පැළ සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පැළ 20640 ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත. එහිදී තේක්ක, මී පැළ, පිහිඹියා, මහෝගනී, කුඹුක්, කොස්, කළුවර, හොර, ඇහැළ, මිල්ල, තිඹිරි, කොහොඹ, සියඹලා, නා, රඹුටන්, දොඹ, දූරියං, මාර, නැදුන්, කෝපි ආදී ශාඛ රෝපණය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සියලු ම ආරක්ෂක සේනා මූලස්ථාන ආශ්‍රිතව ඔක්තෝම්බර් මස 21 සිට 31 දක්වා යුද හමුදා භට පිරිස්වල දායකත්වයෙන් සිදු කිරීමට නියමිතය.
COMMENTS