හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට සියලු කටයුතු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන 18 වැනිදා රටපුරා සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදි එකම නැකතකදී නව දේශපාලන ව්‍යාපාරය බිහි කිරීමට සැලසුම් කර තිබේ.
එම මැතිවරණ කොට්ඨාශවලින් නව පක්ෂ ආරම්භ කිරීම වෙනුවෙන් සාමාජිකයින් ලක්ෂ 10ක් බඳවා ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේවන විටත් එම ආසන නියෝජනය වන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආසන සංවිධායකවරුන් පත් කර ඇති අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් එදිනට නව පක්ෂය ආරම්භ කිරීමේ උත්සවය සංවිධාන කර ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් ඊයේ (25) ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත සංසදයේ නව ජාතික බලවේගය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව නව දේශපාලන පක්ෂය බිහි කිරීමේ සංවිධාන කටයුතු කරන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් දමන බවත්ය.
නව දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් අනුරාධපුරය, පුත්තලම, මහනුවර, රත්නපුර, බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන පරිදි පවත්වා ඇති අතර අද දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මේ අතර මීට ටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් පාලන නියෝජිත එකමුතුව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය දා ඔහුට අමතක නොවන තෑග්ගක් දෙන බවයි.
COMMENTS