මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේදී එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට පොලීසියේ ආරක්ෂාව ලබා දෙන...
මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේදී එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට පොලීසියේ ආරක්ෂාව ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා එරට රජයට දන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කොළඹ සිටින මැලේසියානු මහකොමසාරිස්වරයා මාර්ගයෙන් විදේශ අමාත්‍යංශ ලේකම් ඇසළ වීරකෝන් මහතා මෙම ඉල්ලීම කර ඇත.
මහකොමසාරිස්වරයාට අමතරව ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට, කාර්ය මණ්ඩලයට හා එම නිලධාරීන්ගේ නිල නිවාස වලට සහ මහකොමසාරිස් කාර්යාලය පිහිටි භූමියට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙස ද විදේශ ලේකම්වරයා මෙරට සිටින මැලේසියා මහකොමසාරිස්වරයාට දන්වා ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
සෙන්තුල් හි විහාරස්ථානයට අවශ්‍ය ආරක්ෂාවද ලබා දෙන ලෙසද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මැලේසියා රජයෙන් ඉල්ලා ඇත.
කෙසේවෙතත් ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේදී ප්‍රහාරයකට ලක් වූ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් අන්සාර් මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඒ මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (06) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙලෙස මහකොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාවට කැඳවන්නේ ඔහුට එල්ල වූ ප්‍රහාරයට විරෝධයක් පෑම ලෙස බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට කැඳවනු ලබන මහකොමසාරිස්‌වරයාගේ තනතුර සම්බන්ධව කිසිදු ගැටලුවක් නැති බවත් මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයකුට ප්‍රහාරයක් එල්ලවීම බරපතළ ගැටලුවක් බැවින් මැලේසියානු රජය විසින් සිද්ධිය සම්බන්ධව නිසි පරීක්‍ෂණයක් පවත්වා අවසන් වනතුරු අන්සාර් මහතා ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
මේ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් මහතා යළි දිවයිනට කැදවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
මීට අමතරව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙරට මැලේසියානු මහකොමසාරිස්වරයාව පෙරේදා (05) විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තිබිණි.
COMMENTS