ජනතාව මත අධික බරක් පටවන වැට් බදු පනත් කෙටුම්පතට පක්‍ෂව අත ඔසවන්නේ කවුදැයි අගෝස්තු 11 වැනිදා මුළු රටටම දැකගත හැකි බවත් එසේ අත ඔසවන මන්ත්‍රී...
ජනතාව මත අධික බරක් පටවන වැට් බදු පනත් කෙටුම්පතට පක්‍ෂව අත ඔසවන්නේ කවුදැයි අගෝස්තු 11 වැනිදා මුළු රටටම දැකගත හැකි බවත් එසේ අත ඔසවන මන්ත්‍රීවරුන්ට ඉදිරි මැතිවරණයේදී කිසිදු උදව්වක් නොකිරීමට මෙරට ඡන්දදායයන් අදිටන්කර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් දැක්වූයේ පෙරේදා (06) සීදුව දිනිඳු උත්සව ශාලාවේදී ‘ව්‍යවස්ථා මර උගුල සහ ජාතියේ අවමගුල’ යන මැයෙන් වූ තම දේශන මාලාවේ සිව්වැන්නට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බිඳ වැට්ටවීම දේශපාලනමය වශයෙන් අස්ථාවර කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳවැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ මෙහෙයුමක් තමයි 2015 ජනවාරි 08 වැනිදා ආරම්භ කෙරුණේ. එමගින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ උවමනාව ඉටුකරදීමට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කරනවා.
යුද ජයග්‍රහණයෙන් පසුව මේ රට විශාල සංවර්ධනයක් අත්පත්කර ගත්තා. ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ ගියා. දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළම තැන සිටියේ ශ්‍රි ලංකාව. 2015 ජනවාරි 08 වැනිදා මේ අය බලයට ආවේ ඉන් එහා තැනකට රට ගෙන යනවා, කියලයි. ‘වෙනසකට’ ඡන්දය දුන් තරුණ ඡන්දදායකයෝ කට ඇරගෙන බලා සිටියා රටේ සුඛිත මුදිත තත්වයක් ඇති වෙන තුරු. නොමිලේ වයි-ෆයි අරගෙන, රැකියා දශලක්‍ෂයෙන් එකකුත් ලබාගෙන, පුංචි කාර් එකකුත් අරගෙන ඒවා පෙන්වලා පෙම්වතියකුත් හොයාගෙන, විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුත් නැතිව කසාදයකුත් කරගෙන සතුටින් ඉන්නයි මේ තරුණ පිරිස බලාපොරොත්තු වුණේ. නමුත් මේ අය බලයට ආපු දවසේ ඉඳලා මේ සිහින සියල්ල බිඳ වැට්ටුවා.
නමුත් දැන් මේ බදු බර යළි පටවන්න, අදාළ පනත් කෙටුම්පත අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එනවා. මේ ආණ්ඩුව මහ දවාලේ ජනතාවගේ මුදල් ‘පික්පොකට්’ ගහපු එකයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නතර කළේ. ඒ නිසා දැන් ජනතාවට බලන්න පුළුවන් තමන් කතිරේ ගහලා යවපු නියෝජිතයන් කටයුතු කරන ආකාරය. ‘අධික බදු බරක් පටවන මේ පනතට පක්‍ෂව අත ඔසවන්නේ කවුද?, විරුද්ධව නැඟී සිටින්නේ කවුද?’ කියා අගෝස්තු 11 වැනිදාට ජනතාවට දැකගත හැකියි. මේක බලන්න වටිනා ජවනිකාවක්. මේ රටේ ව්‍යාපාරික සංගම් අගෝස්තු 09 වැනිදා සියලු කඩ සාප්පු වහලා වැට් බදු පනතට විරෝධය දැක්වීමට සූදානම් වෙනවා. ඔවුන් ප්‍රධාන කාරණා දෙකක් කියනවා. පළමු එක තමයි, මේ වැට් බදු වැඩිකිරීම දරාගත හැකිවන පරිදි අඩු කිරීම. දෙවැන්න, මේ පනතට අත ඔසවන කිසිදු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකුට ඊළඟ ඡන්දයේදී ‘සත 05ක’ උදව්වක් කරන්නේ නැහැ, කියන එක. ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි මේ රටේ පොදු ජනතාවත් මේ අපරාධකාරී පනතට අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊළඟ මැතිවරණයේදී ‘සතයක’ උදව්වක් නොකළ යුතුයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රටේ බදු ගැසීමට අත තියන්න පුළුවන් වුණා. ඊළඟට ඔවුන් දෙන වට්ටෝරුවට අනුව ආර්ථිකය බෙලහීන කරන අණ පනත් ටිකත් ගෙන එන්නයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ.
ඒ අනුව ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත, නමින් පනත් කෙටුම්පතක් එනවා. එමගින් රටේ ඕනෑම වාණිජ දේපළක් අත්පත්කර ගෙන විදේශ සමාගමකට විකිණීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට ලැබෙනවා. ඒ වගේම බැංකු පනත සංශෝධනය කරලා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට ෙම් අාණ්ඩුව IMF උපදෙස් අනුව සූදානම් වෙනවා. රේගු ආඥා පනත සංශෝධනය කිරීම, වගේම බීජ පනත, සෞඛ්‍ය සේවා අධිකාරී පනත, ආදී පනත් සියල්ල ගෙන එන්නේ IMF උපදෙස් අනුව මේ රට සමාජ-ආර්ථික වශයෙන් බෙලහීන කරන්නයි.
මේ සියල්ල මැද්දේ මේ ආණ්ඩුව මේ රට තවදුරටත් බෙලහීන කරන ගිවිසුමකට එළඹෙන්න හදනවා. ‘එට්කා’ නම් වූ ඒ ගිවිසුමින් මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙනවා. මේ රටේ දරුවන්ගේ රැකියා ටික ඉන්දියානුවන්ට ගිලගැනීමට ඉඩ හදලා දෙන කොන්ත්‍රාත්තුවක් තමයි මේ ආණ්ඩුව අද ඉටුකරමින් ඉන්නේ. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිට සිල්ලර වෙළදාම දක්වා වූ සියලු සේවා මේ ගිවිසුම මගින් ඉන්දියානුවන්ට විවෘත වෙනවා. ඉන්දියාවේ විරැකියාව මිලියන 22යි. ඉන් මිලියන 2ක් ආවත් අපේ අයගේ රැකියා අවස්ථාවන් අහිමි වීමට ඉඩ තිබෙනවා.
ඒ අතරේ දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා වූ පාලමක් හැදීම සඳහා වූ දෙරටේ ඉහළ පෙළේ සාකච්ඡා අවසන් වූ බව අනාවරණය වී තිබෙනවා. ඉන්දුනිසියාවේ පැවැති ආසියානු ඉස්ලාමීය සමුළුවේදී කබීර් හෂිම් ඇමතිවරයා මේ බව පවසා තිබුණා. අපි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටියා. එය බොරුවක් බවයි එහිදී ඔහු පැවසුවේ. එදා ආවේ එක හනුමයි. ඒ පාලම හැදුනාම ඉන්දියාවේ සිට හනුමාන්ලා කෙල කෝටියක් පැමිණේවි. පාලම ඉදි කළොත් මේ රට ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය වීම වැළැක්වීමට බැහැ. චීනයට යළි ‘පෝට් සිටියේ’ වැඩ ඇරඹිමට දුන්නාම ඉන්දියාවේ මූණ ‘නාලු’ වුණා. ඉන්දියාවේ මූණ හොද කරන්නයි මේ අය මේ මහා පාවාදීම සිදු කරන්නේ.“
COMMENTS