උතුරේ කෝවිල් වල වේල් කරත්ත ඇදීම සදහා යුද හමුදාවේ පිරිස් සහභාගී කර ගැනීමෙන් වළකින ලෙස කෝවිල් බාරකරුවන්ට දැණුම් දුන් උතුරේ ප්‍රාදේශීය දේශපාල...
උතුරේ කෝවිල් වල වේල් කරත්ත ඇදීම සදහා යුද හමුදාවේ පිරිස් සහභාගී කර ගැනීමෙන් වළකින ලෙස කෝවිල් බාරකරුවන්ට දැණුම් දුන් උතුරේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක් වී තිබේ.
ඔහුගේ ඉල්ලීම මත යාපනයේ එක් කෝවිලක වේල් කරත්තය ඇදීම සදහා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසුව එම කෝවිලේ දායකත්වය දරණ පිරිස කෝවිලේ බාරකරුවන්ටද බැණ වැදී වෙනත් කෝවිලකට ගොස් අතින් වේල් කරත්තය ඇද ඔවුන්ගේ බාර ඔප්පු කොට තිබේ.
යාපනයේ එක් කෝවිලක වේල් කරත්ත ඇදීම සදහා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒම සම්බන්ධයෙන් එම කෝවිලේ බාරකාර මණ්ඩලයට යාපනයේ සමස්ත කෝවිල්බාර කාර මණ්ඩලයේ අප්‍රසාදයද හිමි වී තිබේ.
එම මහා බාරකාර මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ අනාදිමත් කාලයක සිට උතුරේ සෑම කෝවිලකම වේල් කරත්ත ඇදීම සදහා හමුදාවෙන් විශාල සහයක් ලබා දුන් නිසා මින් ඉදිරියටද හමුදාවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට කෝවිල් වල වාර්ෂික මංගල්ලයන් සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ දැණුම් දීමත් සමගම මේ දිනවල උතුරේ කෝවිල් වල පැවැත්වෙන වාර්ෂික මංගල්ල වල වේල් කරත්ත ඇදීම සදහා හමුදාවේ සාමාජිකයින්ට ආරාධනය කොට ඇති අතර පෙරට වඩා වැඩි සබදතාවයකින් මහජනතාව හා යුද හමුදාව කෝවිල් උත්සව වලට සහභාගී වෙමින් සිටිති.
ඇතැම් කෝවිල් වල වේල් කරත්ත ඇදීමේදී හමුදා සාමාජිකයින් සමග උතුරේ තරුණියන් හා කාන්තාවන්ද එකම ලණුවේ එකම තැන සිට වේල් කරත්ත අදින අන්දමද දැකගන්නට ලැබුණි.
උතුරේ කෝවිල වල වේල් කරත්ත ඇදීම සදහා යුද හමුදා සාමාජිකයින් සහභාගි කරවා ගැනීමේ ඇති වාසි පිළිබදව විමසූ විට එක් කෝවිලක බාරකාර කුරුක්කල්වරයෙකු කියා සිටියේ මෙවැනි කතාවකි.
මේ වේල් කරත්තය අදින්න හමුදාව සහභාගී කරවා ගැනීමෙදි විශාල සේවයක් ඉටුවෙනවා.පලවෙනි කාරණය තමයි ඔවුන් කණ්ඩායමක් විදිහට ඉතාම පිළිවෙලකට මේ වැඩේ කරනවා.අපේ බැතිමතුන් තනියම වේල් කරත්තය ඇදලා තනියම ස්වර්ගෙට යන්න බලනවා.එතකොට වේල් කරත්තය අදින්න බැහැ.මේ පොලොවවල් වැලි වලින් පිරිලා නිසා වේල් කරත්තයේ රෝද හොදට කරකැවෙන්න නම් හොද ශක්තියකින් යුතුව වේල් කරත්තය අදින්න ඕනේ වෙනවා.
ඉතින් යුද හමුදාවේ අය ඒ වැඩෙත් හරියටම කරනවා,මොකද ඒ අය තරුණයෝ.ශක්තිමත්ව ඉන්නවා.හොද ආහාර අරගෙන ඉතාම නීරෝගීව ඉන්නවා.
කෝවිල් කාලෙට මාස ගණනක් තියලා අපේ අය මස් මාංශ කන්නේ නැහැ.දිනපතාම නිදි මරණවා.ඒ වගේම මේ කෝවිල් වලට එන අයගෙන් විශාල පිරිසක් මහලු අය ඒ අයට වේල් කරත්තය අදින්න බැහැ.ඒක නිසා හමුදාවේ අයට අපි ආරාධනය කරනවා.හැබැයි අපි ඒ අයට එන්න කියන්නේ මේක කරව ගන්නම නෙමෙයි .අපි ඒ අයට ආශිර්වාද කරනවා.කවුරු මොන මොන දේ කිව්වත් හමුදාවේ අයත් ඒක දන්නවා.මේක ලොකූ බැදීමක් භක්තියක් එක්ක වුණු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් මේ දිනවල උතුරේ කෝවිල් වල වාර්ෂික මංගල්ලයන් පැවැත්වෙන කාලයයි.ඒ ඒ කෝවිල් වල වාර්ෂික මංගල්ලයන් පැවැත්වෙන දින වල වෙනස්කම් ඇති නිසා තවත් ඉදිරියට බොහෝ කාලයක් මේ කෝවිල් උත්සව පැවැත්වෙන අතර ඊට යුද හමුදා සාමාජිකයින් සහභාගී වීමට නියමිතය.
(දිනසේන රතුගමගේ)
COMMENTS