ලංකා විදුලිබල මණ්ඩලය මඟින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති බෝඩිලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණීම් කටය...
ලංකා විදුලිබල මණ්ඩලය මඟින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති බෝඩිලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණීම් කටයුතු කරන උමං මාර්ගයට ඉහළින් වූ විශාල නිවසක් පොළොවේ අඩි 60ක් පමණ ගැඹුරට ගිලා බැස තිබේ.
අද (08) උදෑසන මෙම ගිලා බැසීම සිදුව ඇති අතර මේ වනවිට එම සිදුවීම නිසා ගම්මානයේ වැසියන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වේ.
පොල්පිටියේ සිට කිතුල්ගල, කළුබෝතැන්න දක්වා කිලෝ මිටර් 04ක් දුරට කැණිම් කටයුතු ආරම්භ කර ඇති එම උමං මාර්ගය හේතුවෙන් ඊට ඉහළින් වු නිවාස 12ක පදිංචිකරුවන් තාවකාලිකව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම ව්‍යාපෘතියේ නිළධාරින් මීට පෙර කටයුතු කර ඇති අතර අද දින මෙසේ ගිලාබැස ඇත්තේ ද එසේ පදිංචිකරුවන් බවත් කර තිබූ නිවසකි.
එම නිවස ඉදිරිපිට තිබු විශාල අඹගසක් හා පොල් ගසක් ද ගිලා බැසිමට ලක්ව ඇති අතර එම නිවසට යාබදව පිහිටි තවත් පවුල් 18කට ද මෙම අවධානම ඇති බැවින් ඔවුන්ට ද එම ස්ථාන වලින් ඉවත් වන ලෙස ව්‍යාපෘති භාර නිළධාරින් ඉල්ලීමක් කොට තිබේ.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 135ක් එක් කිරීමේ අපේක්‍ෂාවෙන් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව චීන සමාගමක් විසින් සිදුකරන අතර අද ගිලා බැසිමට ලක්වු ස්ථානය පරික්‍ෂා කිරිමට එම ව්‍යාපෘතිය භාර චීන නිළධාරින් පිරිසක් ද එම ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරම්භ කර ඇත.
මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානයට යාබදව සිටින පදිංචිකරුවන්ට ආරක්‍ෂක හේතුන් මත තාවකාලිකව තමන් පදිංචි නිවාස වලට නොයන ලෙස ගිනිගත්හේන පොලිසිය මගින් ද උපදෙස් ලබා දි ඇත.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS