අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත්වන්නේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක් සූදානම...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත්වන්නේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක් සූදානම් නම් පමණක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු කෙරෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නව අගමැතිවරයා කවුරුන්දැයි දැනුම්දිය යුතුය යන්න අග්‍රාමාත්‍යවරයාගේ මතය වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසූ බව "ද ලීඩර්" වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවින් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
එවැනි තත්ත්වයක් ඇතිවීම වර්තමානයේ පවතින ගැටළු තවත් උග්‍රවීමට හේතුවක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් පවතින වැඩසටහනට එය අහිතකර ලෙස බලපානු ඇති බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මතය බවද පැවසේ.
කෙසේවුවද, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) විශේෂ ප්‍රකාශයක් කරමින්, නව අගමැතිවරයකු පත්කළ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් බව ජනාධිපතිවරයා වෙත පෙරේදා (02) දැනුම් දී තිබිණ.
නාමල් ජනප්‍රිය තීන්දුවකට
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වුවහොත් ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා හා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ අසුන් ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
රාජපක්ෂ මහතා ස්වාධීන තීන්දුවක් මත එසේ කටයුතු කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වන අතර ඔහු අදාළ තීන්දුව ගනු ලබන්නේ ජාතික එකඟතා ආණ්ඩුවක් සකස් කර ගැනීමට ඉඩ ලබාදීම සඳහා බවද පැවසේ.
ටිරාන් - රාජිත සාකච්ඡා වෙනතකට
ජාතික එකඟතා ආණ්ඩුවක් පත් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගැනීම වෙනුවෙන් පත්කෙරුණු කමිටු සාමාජිකයින් ඊයේ (03) පෙරවරුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් හමුවී සාකච්ඡා පවත්වා තිබිණි.
කමිටුව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරු සාකච්ඡාවට එක්වු අතර ඊට අමතරව ස්වාධීන මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා හා නලීන් පෙරේරා යන අයද ඊට එක්ව සිටි බව පැවසේ.
සමගි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡාවට එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව පැවසේ.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.
"විශ්වාසභංග යෝජනාව ගැන තමයි අපි සාකච්ඡා කළේ. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණු අය කිව්වා.. හෙට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් ඉවත් වෙනවා. ඒ නිසා විශ්වාසභංග යෝජනාව ගැන ඒ අනුව තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ කියලා. ඒ පිළිබඳව තමයි කතා කළේ. විශ්වාසභංගයෙන් පසුව අපි මොකද කරන්නේ කියන එක ගැනත් කතා කළා. නමුත් අපි පැහැදිලිව ප්‍රකාශයක් කළා මහින්ද රාජපක්ෂ විතරක් අයින්වෙලා මදි, ගෝඨාභය රාජපක්ෂත් ඉවත් විය යුතුයි කියන එක. ඒ පිළිබඳව කරන සාකච්ඡාවකින් තමයි ඊට පස්සේ ගන්න තීන්දු ක්‍රියාත්මක කරන්නේ කියලා."
මේ අතර සාකච්ඡාවේදී ඉදිරිපත් වු යෝජනා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවා සාකච්ඡා පවත්වා තිබේ.
ටිරාන්ගේ නිවසේ අදත් සාකච්ඡා
එසේම, අගමැතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අද (04) පෙරවරු 9.00ට ටිරාන් අලස් මහතාගේ නිවසේ රැස්වීමට නියමිතය.

COMMENTS