පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ඉදිරියේදී ගන්නා තීරණ සහ පාප් වහන්සේ ලෙස තමාට වතිකානුවේ සිට ගතහැකි පියවර පිළිබඳව දැනුවත...
පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ඉදිරියේදී ගන්නා තීරණ සහ පාප් වහන්සේ ලෙස තමාට වතිකානුවේ සිට ගතහැකි පියවර පිළිබඳව දැනුවත් කරන ලෙස ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙත සිය අත් අකුරින් ලිපියක් එවමින් දැනුම්දී ඇත.
තමා විසින් පාප් වහන්සේ වෙත පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ලිපිය එවා ඇතැයි කාදිනල්තුමන් පෙරේදා (22දා) සූම් තාක්‍ෂණය ඔස්සේ යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් වෙත දැනුවත් කරමින් පැවැසීය.
මෙම ලිපිය පාප්වහන්සේ පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ලියා ඇති බවත් එය ඉතාලි භාෂාවෙන් ලියා ඇති බවත් පැවසූ කාදිනල්තුමන් එහි ඇති තොරතුරු පරිවර්තනය කරමින් මෙසේද පැවැසීය.
පාස්කු ප‍්‍රහාරය ගැන කනගාටුවෙනවා. හොඳම දේ කිරීමට තීරණය කරන්න. එසේම මාහට මෙහිදී ගත හැකි පියවර පිළිබඳවත් දැනුවත් කරන්න.
මම මෙහි රාජ්‍ය ලේකම් කාදිනල්තුමන් සමඟ මේ ගැන සාකච්ඡා කරන්නම්.
ඔබ පාස්කු ප‍්‍රහාරය හමුවේ රට තුළ කතෝලික ජනතාව අතර ගැටුමක් ඇති නොවීමට ගත් උත්සාහය අගය කරමි.
පාප් වහන්සේගේ ලිපියෙහි ඇති තොරතුරු පැවැසීමෙන් අනතුරුව සිය අදහස් දැක්වූ කාදිනල්තුමන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම බරපතළ එකක් බව පැවැසීය.
එහි වැරදිකරුවකු ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නම්කර ඇති බවත් නමුත් ඔහු සම්බන්ධව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ගැන කනගාටුවන බවත් සඳහන් කළේය.
උපාලි ද සේරම්

COMMENTS