සූවස් ඇළ සිරකරමින් විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් අත්පත් කරගන්නා ලදී. සූවස් ඇළ කැණීමට ප්‍රමුඛතම දායකත්වය...
සූවස් ඇළ සිරකරමින් විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් අත්පත් කරගන්නා ලදී. සූවස් ඇළ කැණීමට ප්‍රමුඛතම දායකත්වයක් ලබාදුන් ඊජිප්තුව විසින් මෙසේ සිදුකකරන්නේ අධිකරණ නියෝගයක් මත ය.
අල් අහ්රාම් ඊජිප්තු පුවත් වාර්තාවට අනුව එවර්ගිවන් නෞකාවේ ජපන් හිමිකරු වූ ෂෝයි කිසෙන් කයිෂා හට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක වන්දි ගෙවීමට ද නියම කර තිබේ.
ඒ, පැනමා ධජය සහිතව සූවස් ඇළ දිගේ යාත්‍රා කළ අති දැවැන්ත කන්ටේනර් නෞකාව විසින් ගෝලීය වාණිජ කර්මාන්තයට සිදුකළ පාඩුව ට වන්දි ලෙස ය.
මෙම දැවැන්ත වන්දි මුදලට, නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් ගාස්තු සහ නඩත්තු ගාස්තු ද ඇතුළත් ය.
දින 6 ක් සූවස් ඇළ අවහිර කළ මෙම නෞකාව මාර්තු 29 වැනිදා මුදාගෙන අසල තිබූ ග්‍රේට් බිටර් විල වෙත ගෙන යනු ලැබිණි. එහිදී නෞකාවේ යාත්‍රා කිරීමට සුදුසු බව හෙවත් ‘සාගර යෝග්‍යතාවය‘ (seaworthiness) අධීක්ෂණයට ලක් කළ අතර, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු ද සිදුකරනු ලැබිණි.
එක්සත් රාජධානිය සහ ඊජිප්තුව අතර ආරාවුලක්
මේ අතර, එවර්ගිවන් නෞකාවේ රක්ෂණ සමාගම ලෙස කටයුතු කරන්නේ එක්සත් රාජධානියේ UK Club සමාගමයි. සූවස් ඇළේ පරිපාලන කටයුතු භාරව සිටින ‘සූවස් කැනල් ඕතොරිටි‘ - SCA විසින් ද ඩොලර් මිලියන 916 ක වන්දියක් ඉල්ලා තිබුණු අතර, එම මුදල ගෙවීමට එම UK Club සමාගම දැනට එකඟ වී තිබේ.
ඔවුන් පවසන්නේ එසේ තිබියදීත්, ඊජිප්තුව විසින් ඉල්ලා සිටින වන්දි මුදල අතිශය විශාල සහ අසාධාරණ එකක් වන බවයි.
‘නැව බේරාගැනීමේ බෝනස්‘ මුදල ලෙස ඩොලර් මිලියන 300 ක්ද, ‘කීර්තිය අහිමි වීමේ වන්දිය‘ ලෙස තවත් ඩොලර් මිලියන 300 ක් ද මෙයට අයත් බවට එක්සත් රාජධානියේ රක්ෂණ සමාගම චෝදනා කරයි.
මේ අනුව ඊජිප්තුව සහ එක්සත් රාජධානිය අතර එවර්ගිවන් නෞකාව නිසා මේ වන විට සමුද්‍රීය වාණිජ ආරවුලක් ද පැනනැගී තිබේ.
මෙම නෞකාවේ නිල නාමය ‘එවර්ගිවන්‘ වන අතර, එහි මෙහෙයුම් කටයුතු භාරව සිටියේ තායිවානයේ ‘එවර්ග්‍රීන් මැරයින්‘ සමාගමයි. ඒ අනුව මෙම නෞකාව ‘එවර්ග්‍රීන් නෞකාව‘ යනුවෙන් ද හැඳින්වේ.
- අමාලි ජයවීර | අවුට්බවුන්ඩ් ටුඩේ
COMMENTS