ළඟදීම ජල බිල්පත් වැඩි කරන බවත් එය වැඩියෙන් ජලය පාවිච්චි කරන්නන් වෙනුවෙන් පමණක් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව න...
ළඟදීම ජල බිල්පත් වැඩි කරන බවත් එය වැඩියෙන් ජලය පාවිච්චි කරන්නන් වෙනුවෙන් පමණක් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.
සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර හයේ දීම ජල බිල වැඩි කර නැතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
ජලය ඒකක 15 ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 15 ට සහන මිලක් ද ඊට වැඩිවන ප‍්‍රමාණයට ඉහළ මිලක් ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයි ද නානායක්කාර මහතා කියා සිටියේය.
එහෙත් ජල ඒකක 15 ක් දක්වා දැනට පවතින සහන මිල දිගටම පවතිනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
දැනට පවතින ප‍්‍රශ්නය ලෙස තමන් දකින්නේ සුළු පිරිසක් අසීමිත ප‍්‍රමාණයක් ජලය පාවිච්චි කරද්දි විශාල පිරිසකට සුළු ප‍්‍රමාණයක් ජලය භාවිතා කිරීමට සිදුවීම යැයි ද ඔහු පැවැසීය.
උතුර, උතුරු මැද, නැගෙනහිර ඇතුළු වකුගඩු රෝගය ව්‍යාප්ත වී පවතින පලාත්වල ජල සම්පාදන ව්‍යාපෘති වලින් ජලය ලබානොදෙන නිවාසවලට කුඩා ජල පෙරනය (ෆිල්ටර්) බැගින් ලබා දීමට රජය පියවර ගන්නා බව ද ජල සම්පාදන ව්‍යාපෘති නොමැති ප‍්‍රදේශ සියල්ලට නළ ජලය ලබාදීමේ වැඩපිලිවෙල දීර්ඝ කාලීන එකක් බැවින් කඩිනම් වැඩපිළිවෙලක් ලෙස මෙම ෆිල්ටර් බෙදා දීම සිදුකරන බව ද හෙතෙම කියාසිටියේය.
මේ සදහා ෆිල්ටර් අවශ්‍ය වන පවුල් සංඛ්‍යාව ගණන් ගැනීම සිදුකරන ලෙස අදාල අංශවෙත දැනටමත් උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මේ අතර වෙළද පොලේ පවතින පානීය ජල බෝතල් කුමන ප‍්‍රමිතියක පවත්වා ගත යුතු ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි තමන් යෝජනා කළ බව ද ඇමතිවරයා තවදුරටත් කීය.
මෙම මාධ්‍ය හමුවට මහජන ජනතා කොන්ග‍්‍රස් පක්ෂයේ නායක ප‍්‍රභා ගනේෂන් මහතා ද සහභාගී වූ අතර ඔහු කියා සිටියේ වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන්නියේ ජනතාව වෙනුවෙන් කරගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති සදහා තමන් කැපවී සහය දෙන බවය.
මේ වනවිටත් වන්නියේ ජනතාව රුපියල් තුනක් බැගින් ගෙවා පානීය ජලය ලබාගන්නා බවත් පවුල් දෙලක්ෂයකට ආසන්න පිරිසක් උතුරේ පමණක් පානීය ජල ප‍්‍රශ්නයට විසදුම් නැතිව සිටින බවත් පැවසූ ගනේෂන් මහතා ඔවුන් වෙනුවෙන් ජලය ලබාදී අවසන් වනතුරුම රාජ්‍ය අමාත්‍යවරයාට සහය දෙන බව ද කියා සිටියේය.
COMMENTS