ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් තරග කළහොත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් ජයග්‍රාහී අපේක්ෂකයා ලබා...
සිය මුහුණූ පොතේ සටහනක් තබමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
මේවන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතා සිය අපේක්ෂකයා බව එජාපයේ පිරිසක් ප්‍රකාශ කරමින් සිටී.
සජිත්ගේ ගෝරිය හේතුවෙන් පසුගිය අගෝස්තු 05 වැනිදා අත්සන් කිරීමට සැලැසුම්කර තිබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය බිහිකිරීමද මේවන විට බිඳවැටීම හේතුවෙන් මහ මැතිවරණයට අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වනු ඇති බව දේශපාලන විචාරක මතය වී තිබේ.
ඒ අනුව මුස්ලිම් පක්ෂ සියල්ල එක්ව එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටත්, දෙමළ පක්ෂ සියල්ල එක්ව එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටත් බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
මුස්ලිම් විවාහ හා දික්කසාද නිතීය සම්බන්ධයෙන් සමස්ත ලංකා උලමා සංවිධානයෙන් එල්ලව ඇති දැඩි බලපෑම් හේතුවෙන් මුස්ලිම් පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
ජවිපේ විසින් මේවන විට ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙවර මහ ජනපතිවරණයේදී පළමුවරට මනාප ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරක මතය වී තිබේ.
ලබන 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැලියේදී නව බලවේගයේ අපේක්‍ෂකයා රටට ප්‍රකාශයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
පරණ හොරුත් අලූත් හොරුත් පරාජයට පත්කරලා නව විකල්ප බලයක් ගොඩනගන රට හදන අපේක්‍ෂකයා ඔවුන් ඉදිරිපත් කරන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
මෛත්‍රී - ශ්‍රීලනිප
මේ අතර, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉදිරි මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අදහස තවමත් අත්හැර නොමැති බව වාර්තා වේ.
පොහොට්ටුව සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසුව මේ තත්ත්වය තීවුරුවී ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නාගා හා පල්ලේ
මේ අතර, නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (13) තමා මාධ්‍ය හමුවක් පවත්වමින් තමා පිළිගත් පක්ෂයකින් ජනාධිපතිවරණයට තරග වදින බව කියා සිටියේය.
එසේම තවත් දින 21 කින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කරණ බවද ඔහු එහිදී කීය.
තම ප්‍රධාන ඉලක්කය රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම බව එහිදී කී ඒ මහතා නව ව්‍යවස්ථා ආකෘතියක්ද මාධ්‍යවේදීන්ට බෙදාදුන් අතර එය ඉදිරි ජනපතිවරණයේදී තමා ජය ලබා ගනිමින් පාර්ලිමේන්තුවෙන් නොව ජනතා පරමාධිපත්‍යයෙන් බල ගන්වන බවද ඔහු කියා සිටියේය.
මේ අතර, රොහාන් පල්ලේවත්ත නැමැත්තෙකු ද ඉදිරි මැතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව කියා සිටී.
මනාපේ ගැන්නොත් මොකෝ වෙන්නේ මැකෝ කියයි
ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි 2019-06-11 වැනි දින පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමකදී මැතිවරණ කොමිසමෙන් එම නියෝජිතයන් විමසූ බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත.
මැතිවරණ කොමිසම වෙනුවෙන් එම පැනයට කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රිය මහතා ලබාදුන් පිළිතුරු ලෙසින් මුහුණු පොතේ අදාළ සටහන තබා තිබේ.
එම ප්‍රශ්නය සහ පිළිතුරු මුහුණු පොතේ සටහන් කර ඇත්තේ මෙසේය.
ප්‍රශ්නය:-
ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re- Poll) සිදුවේ ද ?
පිළිතුර:-
එසේ නැවත ඡන්ද විමසීමක් (Re -Poll) කිරීමක් අවශ්‍ය නොවේ. අපේක්ෂකයන් තිදෙනකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.
ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයන්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.
A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස් දෙනකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.
A= 40, B = 35, C= 15, D= 6, E= 4
මේ අනුව තරඟය පවතින්නේ පළමුවැන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.
පළමු හා දෙවැනි ස්ථාන ලබා ගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කැර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.
අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කැර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කැර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. C සඳහා 1 ලකුණු කැර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.
එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.
දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.
මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.
(මූලාශ්‍රය : දිනමිණ)
COMMENTS