හම්බන්තොට තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට ඇති එකඟතාවක් ගැන කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු දැනුවත් වීමක් නොමැති ...
හම්බන්තොට තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට ඇති එකඟතාවක් ගැන කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු දැනුවත් වීමක් නොමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය විසින් ඉකුත්දා සිදුකරන ලද ප‍්‍රකාශයට පිළිතුරු ලබා දීමට පැවති මාධ්‍ය හමුවකදී ඕමානයේ ඉන්ධන සහ ගෑස් පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සලිම් අල්- ඕෆී මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.
හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම ඉන්ධන පිරිපහදුව සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම අමරිකානු ඩොලර් බිලියන 3.85 ක් බවත් එය සිංගප්පූරුවේ ආයෝජන මත ඉන්දියාවේ වාහන නිෂ්පාදන සමාගමක් සහ ඕමාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවට ශ‍්‍රී ලංකා රජයේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය කොළඹදී පසුගියදා නිවේදනය කර තිබිණි.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඇති එකඟතාවක් පිළිබඳ පළ වන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවයි.
මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකට එක්වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ එළඹෙන මාර්තු 24 වැනි ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයක් වන බවත්, එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සෘජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 3,850 ක ආයෝජනයකින්, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ, සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු එදින ආරම්භ වන බවත්ය.
ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ජා තවමත් පැවැත්වෙමින් තිබෙන බව ද එම මණ්ඩලය කියයි.
COMMENTS