ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකු පසුගිය මස 4 වන දා ඩුබායිහි හෝටලයක පැවති උපන්දින සාදයක...
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකු පසුගිය මස 4 වන දා ඩුබායිහි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර දී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් වූවන් අතර කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බව පොලීසිය සඳහන් කළේ ය. ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අය ද ඒ අතර වෙති. මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට එරට පොලීසිය සිදු කළ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධියත් සමග මෙරට පොලීසිය ද ක්‍රියාත්මක වෙමින් මාකදුරේ මධුෂ්ට සහය දැක්වූ පුද්ගලයින් පිළිබඳව විමර්ශන සිදු කළ අතර අමල් පෙරේරාගේ සහ රයන් වැන් රෝයන්ගේ නිවෙස් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී කොකේන් භාවිත කිරීමට උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් අමල් පෙරේරා මහතාගේ නිවසෙන් හමු වී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන්ගේ නිවසෙන් හමු විය.
අනතුරුව පසුගියදා රයන් වැන් රෝයන් මහතා භාවිත කළ මෝටර් රථයක් මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයකදී පොලීසිය සිය භාරයට ගත්තේ ය. එම මෝටර් රථය සොයා ගත්තේ, මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් හෝටලයකදී ය.
පොලීසිය දිගින් දිගටම සිදු කළ මෙහෙයුම්වලදී මධුෂ්ගේ සහයකයෙකු වන වෙඩිකන්දේ කසුන් අත්අඩංගුවට පත් විය. ඔහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ අයෙකුයි. කෙසේ වෙතත් අදාළ දියමන්තිය බවට සැක කරන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගැනිණි. පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මාකදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත.
පොලීසිය පාතාලයට හා මත්ද්‍රව්‍යවලට එරෙහිව දිගින් දිගටම වැටලීම් සිදු කරද්දී පසුගිය මස 5 (පෙබරවාරි) වන දා හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ය. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික ය.
මීගමුව, පෝරාතොට ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පසුගිය මස 22 (පෙබරවාරි) වන දා අත්අඩංගුවට පත් විය. මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට පත් විණි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සහ ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රැම් 655ක් සොයා ගැනිණි.
මේ අතර පසුගියදා මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත්තේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයා ගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490කි. එහි වටිනාකම රුපියල් මිලියන 2945කට අධික ය.
මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඩුබායි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්දුව්‍ය සමඟ කොටහේන ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය නිළධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 2080 ක් සහ කඩුවක් සොයාගෙන තිබේ. සිදුකළ මූලික විමර්ශනයෙදී සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය විය.
රුපියල් කෝටි 7කට අධික වටිනා කමින් යුත් කොකේන් තොගයක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පෙරේදා (05) අත්අඩංගුවට ගත්තේ ය. සැකකරු සන්තකයේ තිබූ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5කි.
COMMENTS