ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍ර...
ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් රජයේ පුවත්පතකට ඊයේ (7) පවසා ඇත.
එහිදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිතවී කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයකු බවත් එම පොලිස් නිලධාරියා පවසා ඇත.
මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට සහභාගි වීම සඳහා මධුෂ්ගේ ආරාධනයකට අනුව මොහු කිහිලිකරු සහිතව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ බන්ධනාගාරයෙන් සේවා නිවාඩු ලබාගෙන බව ද පැවසේ.
මාකඳුරේ මධුෂ් ඩුබායි හෝටලයේ පැවැත් වූ සාදයට ශ්‍රී ලාංකිකයන් 125ක් පමණ සහභාගි වී ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනකු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
මෙහිදී ඩුබායි පොලිසිය එහිදී මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බව ද වාර්තාවේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට පොලිස් කොස්තාපල්වරයකුද සිටින අතර ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා සඳහා ගොස් එහි සිට ඩුබායි වෙත පැමිණ සිටි බව පැවසේ.
ඉකුත් 5 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 ට පමණ සිදුකර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රීලාංකිකයන් 31 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩුබායි පොලිසිය පෙරේදා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද (9) මෙරටට ලැබීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
(ලංකාදීප)
COMMENTS