හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කොට ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙද...
හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කොට ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළත් අවසානයේදී එතුමා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලඥයින්ට ආරක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ කිලිනොච්චිය විවේකාන්නද විද්‍යාලයෙන් පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් සදහා පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමිනි.
එම විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන් විසින් ආණ්ඩුකාරවරයාව පිළිගෙන උත්සව සභාව වෙත කැදවාගෙන එන ලද අතර එම අවස්ථාවට පළාතේ අධ්‍යාපන බලධාරීන් හා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයද සිසුන්ගේ දෙමව්පියන්ද සහභාගී වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ උතුරේ දෙමළ දේශපාලඥයින්ගෙන් වැඩි දෙනෙකුට සිංහල භාෂාව කතා කළ නොහැකි නිසා සිංහල ජාතික පොලිස් නිලධාරීන්ගෙන් ආරක්ෂාව සැපයෙන අතරතුර භාෂා පරිවර්තන කටයුත්තද සිදු වූ බවයි.
මේ නිසා මිනිසුන් භාෂා වශයෙන් බෙදා වෙන් නොකොට සියළුම දෙනා මනුෂ්‍යයින් ලෙස ජීවත් වියයුතු බවත් කිළිනොච්චිය වැනි බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන පළාත් වල සිසුන් මනාව සිංහල හා ඉංග්‍රීසි යන භාෂාවන් ප්‍රගුණ කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේය.
භාෂාව ඉගෙන ගැනීම තුළින් ඉතා ඉහල සමාජ පරිසරයකට හා ඉතා වැදගත් රැකියවකට යාහැකි බැවින් දෙමළ දේශපාලනඥයින් භාෂා වශයෙන් ජනතාව බෙදා වෙන් කොට ජාතිවාදය වැපිරුවත් පාසල් සිසුන් ඒ මානසිකත්වයෙන් මිදිය යුතු බවද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
උතුරේ දෙමළ දේශපාලනඥයින් පමණක් නොව කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙකු වන එම්.ඉඅල්ංචෙලියන් මහතා ඇතුළු දෙමළ ජාතික විනිසුරුවරුන් විශාල පිරිසක් තමන්ගේ ආරක්ෂාව සදහා තෝරාගෙන ඇත්තේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් බවද කියා සිටියේය.
ඉලංචෙලියන් මහතාව ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවක ඔහුව බේරා ගැනීමට සිංහල ජාතික පොලිස් නිලධාරියෙකු දිවි පිදීමේ සිද්ධිය දෙස බලන විට සිංහල ජාතික පොලිස් නිලධාරීන් තමා ආරක්ෂාව සපයන්නේ දෙමළ ජාතික ප්‍රභූවරයෙකුට යැයි සලකා වගකීම පැහැර නොහරින බවද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS