මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියෝ 35 දෙනෙක් රත්...
මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියෝ 35 දෙනෙක් රත්නපුර පොලිසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර, මල්වල, දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක පෙරේදා (13) ආරම්භ කළ මෙම මත්කුඩු සාදය ඊයේ (14) පස්වරුව දක්වා පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු ද සිටි බව පොලිසිය පවසයි.
සැකකරුවන් ළඟ තිබී විස මත්පෙති, අයිස් නම් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සොයාගත් බවද රත්නපුර පොලිසිය කියයි.
මුහුණු පොත ඔස්සේ හඳුනා ගත් තරුණ තරුණියන් මෙම සාදයට එක්වී ඇති අතර ඊට සහභාගි වූ තරුණයකු ගමන් ගත් රථයක් එම ප්‍රදේශයේ වැසියකු පැදවූ රථයක ගැටීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරුණු එම තරුණයා හා ගම්වාසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.
එම අවස්ථාවේ මෙම තරුණයා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර ඇති බවට ප්‍රදේශවාසීන්ට අවබෝධ වීමත් සමග පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම්දීමට ඔවුන් කටයුතු කර ඇත.
අනතුරුව එහිදී හෙළි වූ තොරතුරු අනුව රත්නපුර හා වේවැල්වත්ත පොලිසි එක්ව අදාළ හෝටලය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිස අතර ගැබිනි කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි. මෙම හෝටලය සම්බන්ධයෙන් මීට පෙරද රත්නපුර පොලිස් බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබී ඇත.
සැකකරුවන් කළුතර, හැඳල, වත්තල වැනි ප්‍රදේශවලින් පැමිණ ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මත්කුඩු හා ගංජා ළඟ තබාගැනීමේ චෝදනා මත තරුණයන් දෙදෙනකු රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිට අතර සෙසු සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමේ පදනම මත මුදාහරිනු ලැබූ බව රත්නපුර පොලිසිය කියයි.
සබරගමුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් රත්නපුර පොලිසියේ බුද්ධි අංශය මෙම වැටලීම කළේය.
COMMENTS