විශේෂයෙන්ම අධික ජනගහනක් ජීවත් වන ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල් වසර 2100 වන විට දරාගත හැකි උනුසුමේ ඉහළම සීමාව නමැති අවදානම්...
උෂ්ණත්වය සහ වායුගෝලීය තෙතමනය අතර ඇති සම්බන්ධතාවය වන්නේ රත් වූ වාතයට,” එනම්, උෂ්ණත්වයෙන් වැඩි වාතයට වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් රඳවාගත හැකි බවයි. තවද ජලවාෂ්ප ද හරිතාගාර වායුවක් වශයෙන් සැලකෙන බැවින් වායුගෝලයේ ජලවාෂ්ප ප්‍රතිශතය ඉහළ යන විට හරිතාගාත ආචරණය ක්‍රියාත්මක වී නැවත වරක් වායුගෝලයේ උස්ණත්වය ඉහළ යාම සිදුවෙයි.
ලෝක ජනගහනයෙන් 1/5 ක් ජීවත් වන්නේ දකුණු ආසියාවේ ය. මෙම ජනගහනයෙන් 30%ක්ම මෙම අවදානමට මුහුණ දෙනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.
නිල කාලගුණික මධ්‍යස්ථාන විසින් උස්ණත්වමාන දෙකක් යොදාගෙන ලබාගත් දත්ත ඇසුරෙන් මෙම නිගමනවලට ඔවුන් එළඹී ඇත. එනම්, ‘වියළි රසදිය උෂ්ණත්වමානය’ මගින් වායුගෝලයේ උනුසුම මනින ලද අතර “තෙත් රසදිය උෂ්ණත්වමානය’ වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මැනීමට යොදාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ මෙම තෙත් රසදිය උෂ්ණත්වමානය ඇසුරෙන් ලබාගත් දත්තයන් ය.
මිනිස් සිරුර තුළ පවතින සාමාන්‍ය උස්ණත්වය ලෙස අපේක්ෂා කළ හැක්කේ සෙල්සියස් අංශක 37 කි. අනෙක් අතට මිනිස් සම, සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35 ක උපරිම පරිසර උෂ්ණත්වයකට මුහුණ දෙයි. දහදිය දැමීම මගින් මිනිස් සිරුර සිසිල් කරගැනීම නමැති අත්‍යාවශ්‍ය පරිවෘත්තිය ක්‍රියාව සිදුවන්නට මෙම තීරණාත්මක උස්ණත්ව වෙනස පැවතීම අත්‍යාවශ්‍ය ය.
සෙල්සියස් අංශක 35 හෝ එයට වඩා වැඩි පරිසර උෂ්ණත්වයක් පවතින විට තෙත උෂ්ණත්වමානය විසින් එය හඳුනාගන්නේ අතිශයින්ම අවදානම් හෝ මාරක තත්වයක් වශයෙනි. මෙම උනුසුම මගින් අදහස් වන්නේ මිනිස් සිරුර තවදුරටත් තමන් විසින්ම සිදුකරගන්නා ශරීරය සිසිල් කරගැනීමේ කාර්යය සිදුකරගන්නට අපොහොසත් වන බවයි. අප අතර සිටිනා නිරෝගීම තැනැත්තාට පවා මෙවැනි තත්වයක් යටතේ පැය 6කට වඩා ජීවත් විය නොහැකිය.
විද්‍යාඥයන් කියා සිටින්නේ දකුණු ආසියාවේ වෙසෙන දුගීම ජනතාව මෙයින් දරුණු වශයෙන් පීඩා විඳිනු ඇති බවයි.
මහාචාර්ය එල්ෆේත් මෙසේ පවසයි. “අධිකම උනුසුමක් තිබෙන ස්ථාන වශයෙන් අපේ සිතියම්වලින් හඳුනාගන්නා ප්‍රදේශ කියන්නේ” කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටින, සාපේක්ෂව දුප්පත්ම ජනතාව ජීවත් වන ප්‍රදේශයි. එවැනි අය විශාල පිරිසක් සිටිනවා. උවදුර වැඩිම ප්‍රදේශවල ඔවුන් ජීවත් වන බවත් පෙනී යනවා.”
වර්තමානයේ වාර්තා වන අන්දමින්ම කාබන් විමෝචනය දිගින් දිගටම අපේ වායුගෝලයට මුදාහැරීම සිදුවන්නේ නම් සරුසාර ඉන්දු සහ ගංගා නිම්නයන් විනාශකාරී තත්වයන්ට මුහුණ දෙනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. කලාපයේ බත සපයන ගංගා නිම්නයන් ලෙස මේවා ප්‍රකට ය.
භයානක අන්දමින් වායුගෝලීය උනුසුම ඉහළ යාම පිළිබඳ සිද්ධි දැනටමත් වාර්තා වී තිබේ. 2015 වසරේ ඉරානයේ තෙත උෂ්ණත්වමාන පාඨාංකය, උපරිමය වූ සෙල්සියස් අංශක 35ට ආසන්න අගයක් පෙන්නුම් කළේය. එයට අමතරව එම වර්ෂයේම ගිම්හාන සෘතුවේදී ඉන්දියාව හා පාකිස්ථානය හරහා මාරක තාප තරංගයක් හමාගියේ පුද්ගලයන් 3500කට ආසන්න පිරිසක් මරුමුවට පත් කරමිනි. එසේ වූයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් වාර්තා නොකරමින් විම ද විශේෂත්වයකි.
මහාචාර්ය එල්ෆේත් මෙසේ ද පවසයි. “අතිශයින්ම භයානක අන්දමින්, වඩාත්ම අවදානම් තත්වයක ජීවත් වන ජනතාවක් ඉලක්ක කරගෙන මෙය සිදුවන්නට නියමිතයි. නමුත් එය වළක්වා ගන්නට පුළුවන්.”
පැරිස් කාලගුණික සම්මුතිය ඒ අන්දමින්ම ක්‍රියාත්මක කළහොත් සහ ගෝලීය උනුසුම අංශක 2කට වඩා ඉහළ නොගියහොත් මේ අවදානම සැලකිය යුතු අන්දමින් අඩු කර ගත හැකි බවට සාධක තිබේ. එනම් එසේ වුවහොත් අවදානම්කාරී තත්වයට මුහුණ දෙන දකුණු ආසියාතික ජනගහනය 30%සිට 2% දක්වා අඩුකර ගත හැකිය. එය අති දැවැන්ත දියුණුවකි. ඇමරිකා එක්සත් ජනපදයේ පුරුඩෝ සරසවියේ මහාචාර්ය මැතිව් හියුබර් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වයි. “මෙම අධ්‍යයනය අනාගතය පිළිබඳ තීරණාත්මක එබී බැලීමක් සිදුකරනවා. එක්කෝ අප.. නැතිනම් මුළු ලෝකයම ප්‍රමාණවත් අන්දමින් කාබන් විමෝචනය අඩුකර ගන්නට තීරණය කළ යුතුයි. එසේත් නැතිනම් ලෝකයේ ජනාකීර්ණම කලාපවලින් අප අතිශයින්ම භයානක දර්ශනයක් දකින්නට බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි.”
පරිවර්තනය: අමාලි ජයවීර
COMMENTS