කාන්තාවන්හට බ්‍රිතාන්‍ය හමුදාවේ ඕනෑ ම කාර්යයක් සඳහා අයැදුම් කිරීමට පළමු වරට අවස්ථාව හිමිව ඇතැයි එරට ආරක්ෂක ලේකම් පවසා තිබේ. ආරක්ෂක ලේකම්...
කාන්තාවන්හට බ්‍රිතාන්‍ය හමුදාවේ ඕනෑ ම කාර්යයක් සඳහා අයැදුම් කිරීමට පළමු වරට අවස්ථාව හිමිව ඇතැයි එරට ආරක්ෂක ලේකම් පවසා තිබේ.
ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් නිවේදනය කළේ, විශේෂ ගුවන් සේවය (SAS) වැනි විශේෂ හමුදා ඒකක ඇතුළු සටන් පෙරමුණේ සියලු ම කාර්යයන් කාන්තාවන් සඳහා විවෘත කර ඇති බවය.
පළමු වරට "ස්ත්‍රී පුරුෂ භාවය නොව හැකියාවන් පමණක් සැලකිල්ලට ගෙන ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීමේ" තීන්දු ගනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
බ්‍රිතාන්‍ය හමුදාවේ සටන් පෙරමුණු ප්‍රහාරක ඒකක තුළ සේවය කිරීම සඳහා කාන්තාවන් වෙත පනවා තිබූ තහනම 2016 වසරේදී ඉවත් කෙරිණි.
කාන්තාවන් සඳහා සිය දොරගුළු විවෘත කළ පළමු යුද හමුදා ඒකකය වූයේ, බ්‍රිතාන්‍ය හමුදාවේ යුද ටැංකි මෙහෙයුම්වල නිරත රාජකීය සන්නද්ධ බලඇණියයි (Royal Armoured Corp). එම පියවර ගනු ලැබුවේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය.
එතැන් පටන් කාන්තාවන් 35 දෙනෙකු පමණ රාජකීය සන්නද්ධ බලඇණියේ සේවය කර හෝ ඒ සඳහා පුහුණු කර තිබේ.

යුද පෙරමුණුවල කාර්යයන්, කාන්තාවන්ට විවෘත කිරීම අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
'රෝයල් මැරීන්' සහ පාබල හමුදා ඒකක සඳහා අයැදුම් කිරීමට දැනට අවස්ථාව හිමි වන්නේ, බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරන කාන්තාවන්ට පමණි. නිසි පුහුණුවකින් පසු ඔවුන්ට විශේෂ ගුවන් සේවාව වැනි විශේෂ හමුදා ඒකකවලට එක්වීමට හැකියාව ලැබෙනු ඇත.
"විශේෂ නාවික බෝට්ටු සේවය සහ විශේෂ ගුවන් සේවය වෙත කාන්තාවන් එක්වනු ඇතැයි අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා" ආරක්ෂක ලේකම් විලියම්සන් පැවසීය.
"ඔවුන් ඊට ලබා දෙන අගය, ඔවුන් කරන බලපෑම අද්විතීයයි. සියලුම හමුදා සේවා ඔවුන් පිළිගැනීමට සැදී පැහැදී සිටිනවා,"
මීට වසර දෙක හමාරකට පෙර බ්‍රිතාන්‍යයේ Royal Wessex Yeomanry හමුදා ඒකකයේ සේවයට එක්වූ ලාන්ස් කෝප්‍රල් කැට් ඩික්සන් එම රෙජිමේන්තුවේ පළමු කාන්තා යුද ටැංකි සෙබළියයි.
"මා පුරෝගාමියෙකු කියා මට කියන්න අවශ්‍ය නැහැ. නමුත් මිනිස්සු මේ මග යනවා දකින්න මට අවශ්‍යයි. මම හිතනවා කාන්තාවන්ට ලබා දිය හැකි බොහෝ දේ තිබෙනවා," ඇය පැවසුවාය.
"නිසි සුදුසුකම් සම්පූර්ණ වේ නම් කිසිම දෙයක් සීමාවෙන් මෙපිට තිබේ කියා මම සිතන්නේ නැහැ. නමුත් ඔබට අදාළ සුදුසුකම් තිබිය යුතුයි,"
කායික යෝග්‍යතා පරීක්ෂණය දුෂ්කර කටයුත්තක් වූ බව කී ඇය එවැනි අභියෝග අභිබවා යාමට කාන්තාවන්ට හැකියාව පවතින බව සඳහන් කළාය.
"භට කණ්ඩායමේ කොල්ලෝ මට විශාල සහයෝගයක් ලබා දුන්නා" යයි පැවසූ ඇය "මේ නිල ඇඳුම ඇඟ ලා ගත්විට වෙනසක් නැහැ, ඔබ ඔවුන්ගෙන් අයෙක් පමණයි," යනුවෙන් වැඩිදුරටත් කියා සිටියාය.
කෙසේ නමුත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන කර්නල් රිචර්ඩ් කෙම්ප් කියා සිටියේ නව ප්‍රතිපත්තිය හේතුවෙන් "ජීවිත වන්දි" ගෙවීමට සිදු වනු ඇති බවය.
"මගේ අත්දැකීම නම් පුරුෂයන් කණ්ඩායමක් සමග කාන්තාවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සිටියත් බෙදීම් ඇති වීමට මග පෑදිය හැකියි,"
"මම කාන්තාවන්ට වරද පටවන්නේ නැහැ. කණ්ඩායම් හැඟීම පහළට වැටෙන ඕනෑ ම දෙයකින් ජීවිත හානි සිදු වන්න පුළුවන්,
COMMENTS