ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූ...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේය.
පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කළේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙරට නියෝජනය කරමින් මෙක්සිකෝ රාජ්‍යය වෙත ගොස් ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණි පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවට ද මෙහිදී සඳහන් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වනදා කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එදිනම උදෑසන මෙක්සිකෝ රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙලෙස විදෙස් ගත වී ඇත්තේ මෙක්සිකෝ ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමටය. ඔහුට මෙක්සිකෝ රජයෙන් එම උත්සවයට සහභාගී වන්නැයි මීට මාස 3කට පෙර ආරාධනා කර තිබේ.
කෙසේ වෙතත් එම උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 19 වනදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහුට විදෙස් ගතවීමට අධිකරණය විසින් තහනම් කර නොතිබූ අතර ලංකාවට පැමිණි පසු යළිත් රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විදෙස්ගත වීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධතාවටයක් නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS